ශ්‍රී ලංකාව ලබා ගෙන තිබෙන විදේශ ණය ප්‍රතිව්‍යූහගත කර ගැනීම සාර්ථකව සිදු කර ඇති බව මැතිවරණය ආසන්න වෙත් ම ආණ්ඩුව ප්‍රකාශ කළ ද ඉතාම සුළු පොලී ප්‍රමාණයක් අඩු කර 2028න් පසුව ආපසු ගෙවීමට සකස් කර ගෙන ඇති බව අනාවරණය වේ.
ආර්ථික විද්‍යාඥයෙකු වන ඕස්ට්‍රේලියාවේ පදිංචි මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල මේ බව සනාථ කෙරෙන කරුණු අද (09) පෙරවරුවේ සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩ සටහනට එක්වෙමින් හෙළි කර තිබිණි.
මහාචාර්යවරයා හෙළි කළ කරුණු අතර ඉතා වැදගත් වන්නේ 2022 අවසන් වනවිට පැවති මෙරට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 41.5කින් ඩොලර් බිලියන 11.5ක ද්විපාර්ශවික ණය පමණක් ඉතා සුළු වශයෙන් ප්‍රතිව්‍යූහගත කර ඇති බව ය. මෙහිදී මෙම ණය සඳහා පැවති 3% – 3.5% අතර වූ පොලී අනුපාතිකය 2%ක් දක්වා පමණක් අඩු කර ඇති බවත්, එම ඩොලර් බිලියන 11.5ක් වූ ණය මුදල 2028 දක්වා නොගෙවා සිටීමට ඉඩ සලසා ගෙන ඇති බවයි.
නමුත්, ඉන් පසුව 2042 දක්වා කාලය අතරතුර එම ණය ආපසු ගෙවිය යුතු වේ. ආණ්ඩුව අවම වශයෙන් ඩොලර් බිලියන 11.5ක ණය කපා හැරීමක් අපේක්ෂා කළ ද කිසිදු ණය කපා හැරීමක් සිදු කර නැති බව පෙන්වා දෙනු ලැබීය.
ආණ්ඩුව මුලින් ප්‍රකාශ කර තිබුණේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කරන බව ය. එහෙත් මුලින් ම, දේශීය ණය කපා හැරීම වෙනුවෙන් විශ්‍රාම වැටුප් අරමුදල්වලින් රජයට ලබා දී ඇති ණය පොලී විශාල වශයෙන් කපා හරිනු ලැබීය.










