කෙහෙළියලාගේ ඖෂධ ජාවාරම – ගෑවෙන්නවත් හොඳ නැති බේත් රෝගීන්ට දීලා

කෙහෙළියලාගේ ඖෂධ ජාවාරම – ගෑවෙන්නවත් හොඳ නැති බේත් රෝගීන්ට දීලා

පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවෙන් ජය ගත් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් සිදු කළ මනුෂ්‍ය ඝාතන හා සමාන ඖෂධ ජාවාරමේ තවත් තොරතුරු අධිකරණය ඉදිරියේ දිග හැරෙමින් පවතී.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (08) මේ සම්බන්ධ නඩු විභාගය නැවත ආරම්භ කෙරිනි. අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාවෙන් හෙළි වී තිබෙන්නේ මනුෂ්‍ය සිරුරක ආලේපනය කිරීමටවත් නොසුදුසු ඖෂධ රෝගීන් වෙත ලබා දී ඇති බව ය.

අද (09) නිකුත් කළ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් අධිකරණය ඉදිරියේ හෙළිවූ කරුණු රැසක් වාර්තා කර තිබිණි. එය සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ.

බාල ඖෂධ ජාවාරම – ගෑවෙන්නවත් හොඳ නැති බේත් රෝගීන්ට දීලා

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර, රජයේ රෝහල් වලට බෙදාහැරීම සඳහා දුන් ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලොබින්’ සහ පිළිකා රෝගීන් සඳහා භාවිත කරන “රිටොක්සි මැප්‍” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකට ළං කිරීමටවත් සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තා කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය. මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට ඊයේ (8) දැනුම් දුන්නාය.

තමන් සපයා ඇති ඖෂධ පරීක්ෂා කිරීමට හැකියාවක් නැති බව ඖෂධ නියාමන අධිකාරිය දැනුම් දී ඇති තත්වයක් තුළ, තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා ඇති ඖෂධ බාල තත්වයේ බව කියන්නේ කෙසේ ද යනුවෙන්, බාල ඖෂධ ගෙන්වූ බව කියමින් රිමාන්ඩ් බාරයට පත් කර සිටින ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්වරිය එසේ කීවාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර, ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ඉමියුනෝග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර, දිවයිනේ රජයේ රෝහල් වලට බෙදා හැරීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය එසේ කීවාය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපැයුම් ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක ගිලන් රථයකින් ද, බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල වෑන් රථයකින් ද අධිකරණයට ඉදිරිපත් කළ අතර, නඩුවේ සෙසු සැකකරුවන්ගෙන් වෙන් කර මහර බන්ධනාගාරයේ රඳවා සිටින නඩුවේ 10 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක බන්ධනාගාර වෑන් රථයකින් අධිකරණයට කැඳවාගෙන පැමිණියහ.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත් කර සිටින බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපැයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපැයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදා හැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපැයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික, වෛද්‍ය ජයනාත් බුත්පිටිය ( විදේශගත වී), සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී ) සහ වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන නමැත්තෝ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර, ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ ඉමියුනෝග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර, දිවයිනේ රජයේ රෝහල් වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජිවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ ‘සිවිල් සංවිධාන එකතූමුතුව’ කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ගංගානි උක්වත්ත මෙනවිය කරුණු දක්වමින්, ‘ හියුමන් ඉමියුනෝග්ලෝබින්’ සහ ‘රිටොක්සි නමැති මැප්’ නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරීක්ෂණ සම්බන්ධ වාර්තා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්නාය.

බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය සහ ජීවිතක්ෂයට පත් වූ රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මැයි 30 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කර අතැයි ද කී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ගංගානි උක්වත්ත මෙන විය, ඖෂධ තොග සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා එම දත්ත අඩංගු ‘ෆොන්ටෝ ‘ පද්ධතිය සම්බන්ධ විශේෂ වාර්තාව ලැබීමට නියමිත යැයි ද කීවාය.

මෙම සිද්ධිය පිළිබඳ පැමිණිලි කළ අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින්, පළමු සැකකරු වෛද්‍ය සැපැයුම් අංශයට දුන් ‘හියුමන් ඉමියුනෝග්ලෝබින් ඖෂධය භාවිත කිරීමෙන් අනතුරුව මියගිය රෝගීන් තිදෙනකු සම්බන්ධ වාර්තා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයි ද, ඔවුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට රහස් පොලිසියට නියම කරන්නැයි ද කීය.

ඊට පිළිතුරු දුන් පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය, ‘හියුමන් ඉමියුනෝග්ලෝබින් ‘ සහ ‘රිටොක්සි මැප් නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පරීක්ෂණ වලදී එම ද්‍රාවණ මනුෂ්‍ය ශරීරයට ඉතාමත් අහිත කර බව මෙන්ම එම ද්‍රාවණ වලින් රෝගී තත්වයන් උත්සන්න විය හැකි බවට කරුණු අනාවරණය වීමෙන් අනතුරුව 2022 මැයි 30 වැනිදාත් දෙසැම්බර් 4 වැනිදාත් අතර කාලයේ ලබා දුන් ටෙන්ඩර් අනුව පළමු සැකකරු වෛද්‍ය සැපැයුම් අංශයට දුන් හියුමන් ඉමියුනෝග්ලෝබින් සහ ‘රිටොක්සි මැප් නමැති ඖෂධ බෙදා හැරි රජයේ රෝහල් සහ එම රෝහල් වලින් එම ඖෂධ ලබාදුන් රෝගීන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් ගත්තේ මෙම තත්වය හේතුවෙන් යැයි ද කීවාය.

බාල බෙහෙත් දීමෙන් අසාධ්‍ය වූ සහ ජීවිතක්ෂයට පත් රෝගීන්ගේ ලැයිස්තුවක් සහ එම රෝගීන් සම්බන්ධ වාර්තාවක් මෙන්ම බාල බෙහෙත් දීමෙන් අනතුරුව ඇති වූ තුවාල සම්බන්ධයෙන් වර්තාවක් ද එම කමිටුවෙන් කැඳවා ඇතැයි ලක්මිණි ගිරිහාගම මෙනවිය පෙන්වා දුන්නාය.

මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය, අදාළ මරණ සම්බන්ධයෙන් විමර්ශනය කළ හැක්කේ අදාළ බලප්‍රදේශයේ වූ අධිකරණ වලට යැයි ද කීවාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය:- “බාල බෙහෙත් දීමෙන් ජීවිතක්ෂයට පත් රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා විස්තර හා ලිපින පිළිබඳ වාර්තා අධිකරණයට කැඳවීමට නියෝග ඉල්ලා සිටියේ මේ හේතුව නිසයි. ඒ ඒ අධිකරණ වලට මේ පිළිබඳ වාර්තා කර, අවශ්‍ය නියෝග ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.”

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය :- “සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයට පත් කළ නියෝගයේ නඩු විභාගය අවසන් වනතුරු ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කර ඇති බව සඳහන් වුවත්, ඔවුන් සම්බන්ධයෙන් අලුතින් සුවිශේෂි කරුණු ඉදිරිපත් වුවහොත් ඔවුන්ගේ ඇප සම්බන්ධයෙන් යළි සලකා බැලීමට හැකියාව තිබෙනවා.”

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා :- ” අපි හිතුවේ එය අවසානාත්මක නියෝගයක් කියලා. යළිත් ඇප ඉල්ලා වැඩක් නැහැ කියා සිතුණු නිසයි අපි ඇප ඉල්ලුවේ නැත්තේ.”

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය :- “මෙය අවසානාත්මක නියෝගයක් නෙමේ. ඒ නිසයි සැකකරුවන් දින 14න් 14ට රිමාන්ඩ් කරන්නේ. නැත්නම් ඔවුන් නඩුව අවසන් වෙනකම් රිමාන්ඩ් කරන්න තිබුණානේ.”

මේ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත් කර සිටින බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන නඩුවේ පළමු සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා අධිකරණය අමතමින්, තමන් ඉදිරිපත් කළ ඖෂධ වලට බාල බෙහෙත් කීවාට, ඒ බව සනාථ කිරීමට කිසිම වාර්තාවක් නැතැයි ද, ඒ බව පරීක්ෂා කිරීමට ඖෂධ නියාමන අධිකාරියට හැකියාවක් නැතැයි ද කීය.

සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා අධිකරණය අමතමින් මෙසේ ද කීය.

” මං ඉදිරිපත් කළ ඖෂධ වලට බාල බෙහෙත් කීවාට, ඒ බව සනාථ කිරීමට කිසිම වාර්තාවක් නැහැ. එහෙත් මාධ්‍ය කියන්නේ, මං සපයා ඇත්තේ බාල බෙහෙත් කියලයි. මං ඇරෙන්න මේ බෙහෙත හදන්න ලෝකයෙන්ම දන්නේ හත් දෙනයි. එහෙම තියෙද්දී මං ඉදිරිපත් කළ ඖෂධ වලට බාල බෙහෙත් කියන එක සාධාරණ නැහැ. ඖෂධ නිෂ්පාදනය කරන්න ක්‍රම වේද කිහිපයක් තියෙනවා. ‘ ජැපනීස් ෆාර්ම කොර්පියා’, ‘ ඉන්දියන් ෆාර්ම කොර්පියා’, ‘ යුරෝපියන් ෆාර්ම කොර්පියා’ ඉන් සමහරක්.”

මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය :- ‘ ශ්‍රී ලංකන් ෆාර්ම කොර්පියා’ කියා එකක් නැහැ නේද?”

සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා :- ” නැහැ. ඒත් මං හැදුවේ ෆාර්ම කොර්පියා’ ශ්‍රී ලංකන් එකක් හදන්න. මගේ බෙහෙත්වල ගැටලුවක් ඇති බවට වෛද්‍යවරුන් පැමිණිලි කරලා නැහැ. තරගකාරී සමාගමක් තමයි මා මේ උගුලේ පැටලුවේ. ඇත්තෙන්ම ‘ශ්‍රී ලංකන් ෆාර්ම කොර්පියා ‘ කියා එකක් හැදුවා නම්, ‘ ඉන්දියන් ෆාර්ම කොර්පියා’ එකට මරු පහරක් වදිනවා. ඔවුන්ට රුපියල් කෝටි 2,000ක් විතර නැති වෙනවා. ඔවුන් ඒකට බය වුණා. මාධ්‍යයේ යන විදිහට නෙමේ, මේක විද්‍යාත්මක ඇසින් බැලිය යුතු කරුණක්. මං මේ බෙහෙත හැදුවේ නීති විරෝධී ආකාරයෙන් නෙමේ.

මේ ඖෂධය නිෂ්පාදනය කරන ආකාරය ලංකාවට ඉගැන්වීමට ප්‍රංශ රජය සාකච්ඡා කළා. මාත් ඊට සහභාගි වුණා. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දින තුනක් ඔවුන් සමග සාකච්ඡා කරලා කීවා, අපට මේක ඉගෙන ගන්න වුවමනා නැහැ කියලා. මං හිතුවා මේ ඖෂධය නිෂ්පාදනය කරන්න ඕනෑ කියලා. මං කරමින් හිටපු ව්‍යාපාර නවතලා මේ ඖෂධය නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒකට ඕනෑ මැෂින් මං ගෙන්නුවා. ඒකට මාස 4ක් ගියා. මං ළඟ තියෙන මැෂින් ඉන්දියාවේවත් නැහැ.

මං මේ ගැන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට කීවා. ඔහු මගේ ෆයිල් එක වීසි කළා. පස්සේ ඔහු ජනාධිපතිවරයා වුණා. ඒත් ලංකාවේ ඖෂධය නිෂ්පාදනය කරන්න පහසුකම් හැදුවේ නැහැ. ආණ්ඩුව මට බයයි, මං එළියේ හිටියොත් ඉන්දියාවට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. මං හරහා නැතිව ඉන්දියාවට න්‍යෂ්ටික ද්‍රව්‍ය ගන්න බැහැ.

බාල බෙහෙත් ගැන හොයන්න රහස් පොලිසියට බලයක් ලැබුණේ කොහොම ද? මං දීපු බෙහෙත් බීලා මැරුණා නම් මට විරුද්ධව මිනීමැරුම් චෝදනා යටතේ නඩු දාන්න. ඒක සාධාරණයි.”

බාල බෙහෙත් ගැන හොයන්න රහස් පොලිසියට බලයක් ලැබුණේ කොහොම ද? මං දීපු බෙහෙත් බීලා මැරුණා නම් මට විරුද්ධව මිනීමැරුම් චෝදනා යටතේ නඩු දාන්න. ඒක සාධාරණයි.”

මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය :- “තමන්ට කියන්න තියෙන්නේ ඔච්චර ද? “

සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා :- “ඔව්.”

මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය :- ” තමන් ඔතැන ඉඳන් කියපු දේවල් නිකන් අහන් ඉන්න පුළුවන්. හැබැයි ඒකේ කිසිම වටිනාකමක් නැහැ. තමන් ඔතැන ඉඳන් කියපු දේවල් ටික හරි මහේස්ත්‍රාත්වරයා හමුවේ නෛතික ප්‍රතිපාදන යටතේ හොඳට හිතලා රහසිගතව ප්‍රකාශයක් දුන්නොත් ඒකේ විශාල වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒ ගැන හොඳට හිතලා නෛතික ප්‍රතිපාදනයන් යටතේ මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගතව ප්‍රකාශයක් දෙන්න.”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය :- ” සැකකරුගේ ඉල්ලීම මොකක්ද?”

සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා – ” ඇප ඇයැදීමක් සමග අධිකරණයට කරුණු දැනුම් දීමක්.’

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය :- ” සැකකරු මේ අධිකරණයට කරුණු කිව්වා වගේ හොඳට නීති පොත් කියවලා බැලුවා නම් මේ අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රහස් පොලිසියට බලය ලැබුණේ කොහොම ද කියා බලා ගන්න තිබුණා.

‘හියුමන් ඉමියුනෝග්ලෝබින්’ සහ ‘රිටොක්සි මැප් නමැති ඖෂධ වෙනුවට පළමු සැකකරු විසින් ලබාදුන් ද්‍රාවණ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කළ විශේෂඥ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවට අනුව එම ද්‍රාවණ අතරින් ‘හියුමන් ඉමියුනෝග්ලෝබින් නමැති ද්‍රාවණයේ හියුමන් ඉමියුනෝග්ලෝබින් කියා කීමටවත් නොහැකි බවත්, එහි බැක්ටීරියා වර්ග අන්තර්ගත බවත් සඳහන් කර තියෙනවා. මෙම ද්‍රාවණ මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු නැති බවටත් එම කමිටුව පෙන්වා දී තියෙනවා.

සැකකරු ‘ශ්‍රී ලංකන් ෆාර්ම කොර්පියා’ ගැන කරුණු වසන් කරමින් මෙම උසාවියට කරුණු කියනවා. මේ තත්වයන් යටතේ සැකකරුගේ ඇප ඇයැදුම ප්‍රතික්ෂේප කරන්න.’

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුගේ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

නීතිඥ ධම්මික රත්නායක මහතා කරුණු දක්වමින්, ශල්‍ය කර්මයකට ලක් කර ඇති තම සේවාදායකයාගේ බිරිය සහ ඒ නිසා අසරණ භාවයට පත්ව ඇති දරුවාගේ තත්වය සැලකිල්ලට ගෙන, තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුවේ 10 සහ 11 වැනි සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය ලබන 10 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දෙමින්, ඔවුන් එදින තෙක් රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය, සෙසු සැකකරුවන් ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළාය.

සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන 22 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරිය, රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සැකකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලක්සිරි, සැරයන්වරුන් වන (35124) ප්‍රනාන්දු, (61823) මනෝජ් සමග ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා පෙනී සිටියේය. නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අසේල විජේසිංහ සහ ගංගානි උක්වත්ත මහත්ම මහත්මින් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය පෙනී සිටියාය. සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සරත් ජයමාන්න, අනුජ ප්‍රේමරත්න, නීතිඥ අමිත ආරියරත්න, ධම්මික රත්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් පෙනී සිටියහ.

මනෝප්‍රිය ගුණසේකර (ලංකාදීප)

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්