අධ්‍යාපනය පිළිබඳ වගකීමෙන් රජය ඉවත් කරන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව පෙළගැසිය යුතුයැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය අනුර කරුණාතිලක අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කලේ අද (08) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය අනුර කරුණාතිලක,
“අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපන පනත වගේම ලංකාව අත්සන් කර තිබෙන ආර්ථික, සමාජීය හා සංස්කෘතික ජාත්‍යන්තර ප්‍රඥ්ප්තිය යන මූලික කරුණු දෙක ඉතාම වැදගත්. ජාත්‍යන්තර ප්‍රඥ්ප්තිය මගින් සියලු දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට තිබෙන අයිතිය තහවුරු කර තිබෙනවා. නිදහස් සමාජීය පුරවැසියෙක් නිර්මාණය වන්නේ අධ්‍යාපනයෙන් බව පිළිගන්නවා. ඒ වගේම සියලු ජාතිකත්වයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය සාමය සහ සමගිය තහවුරු වන්නේ පුරවැසියන්ගේ අධ්‍යාපනයෙන් බව පිළිගන්නවා. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සහ ද්විතීයික අධ්‍යාපනය ඒ වෙනුවෙන් තහවුරු කළ යුතු බව පිළිගන්නවා. ඕනෑම මට්ටමක අධ්‍යාපනයක් ලබා ගැනීමේ සමාන ප්‍රවේශයක් පුරවැසියන්ට තිබිය යුතු බව පිළිගෙන තිබෙනවා. තමන්ගේ හැකියාව සහ විභවතාවය මත රාජ්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ ප්‍රතිලාභ ලබාගැනීමේ අයිතිය තහවුරු කළ යුතු බවත් සඳහන් වෙනවා. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මේ මූලධර්ම සියල්ල අමතක කරමින් සකස් කළ ප්‍රතිපත්ති රාමුවක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා. මේ ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කළහොත් ගුණාත්මක අධ්‍යාපනය සමාජයේ එක් කොටසකට පමණක් සීමාවීම වැළැක් විය නොහැකියි. මේ වන විටත් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පවතින විෂමතාවයන් වඩාත් පුළුල් කරමින් තහවුරු කරන්න මේ යෝජනාවලියෙන් ඉඩ සැලසෙනවා.
ආයෝජන සහ සම්පත් යනුවෙන් නම්කර තිබෙන මාතෘකාව යටතේ මුල් ළමාවිය අධ්‍යාපනයේ සිට 12 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන්ට ගෙවීමට ඇති හැකියාවට බාධා නොවෙන ලෙස ක්‍රියා කළ යුතු බව සඳහන් වෙනවා. මේ කියන්නේ විෂය බාහිර ක්‍රියාකාරකම්ද ඇතුළුව පාසල්වලට මුදල් අයකර ගැනීමට මේ වන විට තිබෙන බාධාවන් සියල්ල ඉවත් කරන බවයි. ඒ වගේම විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කරමින් වෙනම ජාතික උසස් අධ්‍යාපන කොමිසම යනුවෙන් ආයතනයක් හඳුන්වා දී රාජ්‍ය, රාජ්‍ය නොවන, ජාතික හා පළාත් උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන ප්‍රමිතීන් සහතික කරන්න යෝජනා කර තිබෙනවා. උසස් අධ්‍යාපන ආයතනවලට මුදල් ලබාදීමේ ක්‍රියාවලියෙන් ඉවත් වී අධ්‍යාපන ප්‍රමිතිය සකස් කිරීම පමණක් මෙයින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට පවරනවා. මුදල් අයකර ගැනීම, සිසුන් බඳවා ගැනීම, පරිපාලනය ඇතුළු සියලු කටයුතු ඒ ඒ අධ්‍යාපන ආයතනයට පවරා දීමට යෝජනා කරනවා. මෙයින් අදහස් කරන්නේ ආදළ ආයතන තමන්ගේ මුදල් සොයා ගත යුතු බවයි. සමහර විට විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ අධ්‍යාපන ප්‍රමිතීන් අඩුකර වැඩියෙන් සිසුන් ඇතුළත් කරගෙන වැඩියෙන් මුදල් උපයා ගැනීමටත් මෙයින් ඉඩ ලැබෙනවා. අනෙක් පැත්තෙන් මුදල් ජනනය කර ගැනීම සඳහාම වූ පාඨමාලා හඳුන්වා දෙන්නත් යොමු වෙනවා.
මේ දක්වා නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය යම් පමණකට හෝ ආරක්ෂා වී තිබූ කොඳු නාරටිය බිඳ දමා මුදල් උපයන යාන්ත්‍රණයක් බවට පත්කර ගැනීමට සැලසුම් කරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මූලික කරගෙන මේ නව ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කර ඇති බව පැහැදිලියි. රජයෙන් අධ්‍යාපනයට මුදල් යෙදවිම, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම, සියලු දෙනාටම අධ්‍යාපනය ලබාදීමේ වගකීමෙන් රජය ඉවත්වීම, යන කටයුතු එකවර අවසන් කරන යෝජිත ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සියලු දෙනා පෙළගැසිය යුතුයි.”











