මින් ඉදිරියට බිහිවන විශ්වවිද්‍යාල පළාත් සභාවලට පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය දිලීප විතාරණ අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (08) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුටත් අදහස් දැක් වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය දිලීප විතාරණ,
“අපේ රටට 1931 නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීමෙන් පසු ඉදිරිපත් කරන බරපතළම සංශෝධනය ආණ්ඩුවෙන් යෝජනා කර තිබෙනවා. විවිධ කාලවල විවිධ අභියෝගවලට ලක්වෙමින් තිබුණත් උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය මූලික පදනමෙන්, මූලික හරයෙන් මෙතුවක් කල් පැවතුණා. අවුරුදු 93ක් පමණ වන නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියට එල්ල කරන දැවැන්තම ප්‍රහාරයක් හැටියට අලුත් සංශෝධන හඳුන්වන්න පුළුවන්. මේ තියෙන්නේ නිදහස් අධ්‍යාපනයේ සම්පූර්ණ හරය වෙනස් කරන යෝජනාවලියක්. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව ලිබරල් දෘෂ්ටිය යෝජනා කරන ප්‍රධානම කොන්දේසියක් වන්නේ අධ්‍යාපනයෙන් රාජ්‍යය ඉවත් විය යුතුයි කියන එකයි. අභියෝගවලට ලක්වුණත් සංකල්පීයම ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සියලුම කලාපවල ක්‍රියාත්මක වුණා. මෙයින් යෝජනා කරන්නේ ශිෂ්‍යයන්ට තවදුරටත් නොමිලේ අධ්‍යාපනය නොලැබෙන බවයි; මුදල් ගෙවා ඉගෙන ගත යුතු බවයි. රජයෙන් උසස් අධ්‍යාපනයට මෙතෙක් යෙදවූ මුදල් නවතින බවත්, විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතිය ශිෂ්‍යයන්ගෙන් එකතු කරන මුදල් මත සහ රාජ්‍යයෙන් ලබාදෙන ණය මත පවත්වාගෙන යමින් ණය ගෙවන්නත් විශ්වවිද්‍යාලවලට යෝජනා කර තිබෙනවා. ලෝකයේ මේ වන විට කුප්‍රකටභාවයට පත්ව තිබෙන ශිෂ්‍යයන්ට ණය ලබාදීමත් යෝජනා කර තිබෙනවා. එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් විසින් ලබාගත් මෙවැනි ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා පත්ව සිටින ඛේදනීය තත්වය ගැන බරපතළ සාකච්ඡා පවතිනවා.
මධ්‍යම ආණ්ඩුව ප්‍රාථමික සහ ද්වීතික අධ්‍යාපනයෙන් ඉවත්වී පළාත් සභා රාමුවට භාරදීමට නියමිතයි. දැනට මධ්‍යම ආණ්ඩුව යටතේ පවතින ජාතික පාසල් පවා පළාත් සභාවලට බාරදෙන්න යෝජනා කරනවා. මෙහි තිබෙන දේශපාලන අර්ථය තේරුම් ගැනීම ඉතාම වැදගත්. 1987 සිට හරියට ක්‍රියාත්මක නොවුණු යාන්ත්‍රණයක් පළාත් සභාවල තිබෙන්නේ. එවැනි තැනකට ප්‍රාථමික සහ ද්වීතියික අධ්‍යාපනය තල්ලු කර දැමීම තුළින් රාජ්‍යය සහමුලින්ම අධ්‍යාපනයෙන් ඉවත්වීමේ මුල් පියවර තබනවා. 2014න් පස්සේ පළාත් සභා ඡන්දයක් වත් පවත්වා නැහැ. එවැනි තැනකට ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය බාරදීමටයි සූදානම් වෙන්නේ. මින් ඉදිරියට විශ්වවිද්‍යාල බිහිකරනවා නම් ඒවත් පළාත් සභාවලට පැවරීමට යෝජනා කර තිබෙනවා. මින් මතුවට ජාතික විශ්වවිද්‍යාල බිහි නොවෙන බව එයින් කියවෙනවා. ඒ වගේම ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනයට මුදල් වෙන්කිරීමට තීරණය කරන්නේ අදාළ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව මත සහ ඒ පාසල් පවත්වාගෙන යාමේ තත්වය මත බව කියා තිබෙනවා. එයින් සිදුවන්නේ දැනට පවතින ජනප්‍රිය, බලවත් පාසල්වලට රජයේ මුදල් වෙන්කිරීම් සිදු වීමයි. කුඩා පාසල්වලට සම්පූර්ණයෙන්ම අරමුදල් නොමැති වී යනවා. තව පැත්තකින් අධ්‍යාපනය ලබාදීමේ භාෂා මාධ්‍යය ලෙස ඉංග්‍රීසි යෝජනා කර තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවට විශේෂ තැනක් දීමේ හේතුව මත මේ වන විට යම් තරමකින් හෝ රැකී තිබෙන සමාජ සාධාරණත්වය සහමුලින්ම අහෝසි වෙනවා.
ඕනෑම අලුත් ප්‍රතිපත්ති රාමුවක සම්පාදකයින් කවුදැයි පළමුවෙන් හඳුන්වා දෙනවා. නමුත් මෙහි එම වගකීම් දරන කණ්ඩායමක් සඳහන් කර නැහැ. නමුත් සමාජ මාධ්‍යයේ සංසරණය කෙරෙමින් තිබුණු වාර්තාවක් අනුව ඒ වෙනුවෙන් 25 දෙනෙකු මැදිහත් වී තිබෙනවා. ඔවුන් අතර විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නැහැ. විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිපත්ති සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දිගටම මැදිහත්වීම් කරගෙන යනවා. ඒ වගේම ගුරු සංගම් හෝ ශිෂ්‍ය සංගම් කිසිවක් 25 දෙනාගේ කණ්ඩායම තුළ නැහැ. අධ්‍යාපනය ව්‍යාපාරයක් ලෙස දකිනා විවිධාකාර පිරිස් මේ තුළ සිටිනවා. රාජ්‍ය නිලධාාරීන් හැරුණු කොට පෞද්ගලික විශ්විවිද්‍යාල නියෝජනය කරන අය, මහාපරිමාණ සමාගම් සහ නව ලිබරල් ආර්ථිකයේ න්‍යායාචාර්යවරුන් එකතු වී මේ ප්‍රතිපත්ති රාමුව සකස් කර තිබෙනවා. 1931 සිට ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයන් විසින්ම මේ විකාර සහගත ප්‍රතිපත්ති රාමුව ගෙන ඒම බැරෑරුම්ම කාරණයක් වෙනවා. මෙපමණ කල් තිබුණු කිසිම ආණ්ඩුවක් නොකළ මේ තරම් බැරෑරුම් ප්‍රහාරයක් නිදහස් අධ්‍යාපනයට එල්ල කරන්නේ කෙසේ දැයි අපි ප්‍රශ්න කරනවා.”











