ත්‍රිවිධ හමුදාවට අයත් ඇතැම් සෙබලුන් කුලී ඝාතකයන් වී සිටින බවට මෙයට පෙර දැඩි සැකයක් ඇති වී තිබුණ ද, මේ වනවිට එය තහවුරු වී තිබේ.
ඊයේ (07) හොරණ මොරගහහේන ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු හඬා ගොස් ඝාතනය කිරීමත් සමඟ මේ බව සනාථ විය. එම ඝාතනයට ගිය පුද්ගලයින් අතර මේ වනවිට ද ගුවන් හමුදාවේ සේවයේ නියුතුව සිටින කෝප්‍රල්වරයෙකු පිළිබඳව විමර්ශනවලදී හෙළිවී තිබේ.
එම තොරතුරු අනුව පාදුක්ක මීරිගල්ල ප්‍රදේශයේ සිදු කළ පොලිස් වැටලීමකදී අදාළ සැකකාර ගුවන් භටයා පොලිසියේ වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත. ගුවන් හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙකු ද වන ඔහු පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කිරීමේදී ආත්මාරක්ෂාවට එල්ල කළ වෙඩි පහරකින් මිය ගිය බව පොලිසිය නිවේදනය කර තිබේ.
ඇතැම් හමුදා කඳවුරුවලට අයත් T56 ගිනි අවි ඝාතක කණ්ඩායම් වෙත කුලියට ලබා දීමේ ජාවාරමක් පිළිබඳව මෙයට පෙර හෙළිවී තිබිණි. එසේ ම, දැනට ත්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින ඇතැම් සෙබලුන් ද කුලී ඝාතකයන් ලෙස ක්‍රියා කරන බව සිදුවීම් ගණනාවකදී හෙළි වී තිබුණ ද ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණ නොපැවත්විනි. එවැනි පසුබිමක මෙම ගුවන් හමුදා සෙබලාගේ ඝාතනය සිදු කර තිබේ.









