ජංගම දුරකතන සහ පරිගණක මගින් සිදුකරගෙන යන අපරාධවලින් වින්දිතයන් බවට පත්වන්නන්ගෙන් බහුතරය කාන්තාවෝ බව අනාවරණය වේ.
මේ බව අනාවරණය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය සිදුකළ සමීක්ෂණයකදීය.
ඒ අනුව එම වින්දිතයන්ගෙන් 63%ක්ම කාන්තාවෝ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
මිලියන 23ක ජනගහනයක් සිටින රටේ ජංගම දුරකතන භාවිතය මිලියන 23 දක්වා ඉහළ නැග ඇති බවද එහිදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එයට හේතුව ආරම්භයේ ජංගම දුරකතන භාවිතය ගෘහමූලිකයාට පමණක් සීමාවූ නමුදු එය මේ වනවිට අඹුසැමි දෙදෙනාට මෙන්ම දරුවන් අතටද එය පත්ව තිබීම යැයිද ඔවූහු සඳහන් කරති.
ගෙවීගිය මාස 03 තුළ පරිගණක අපරාධ පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 1,500ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් කරයි.
නාඳුනන පුද්ගලයන්ගේ රැවැටීම්වලට හසුවී ඇති වින්දිතයන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය යටතේ ඇති මහනුවර, මාතර, අම්පාර සහ කුරුණෑගල යන ප්‍රදේශවල පිහිටුවා ඇති ප්‍රාදේශීය විමර්ශන ඒකකද විමර්ශන පවත්වාගෙන යන බව වැඩිදුටත් එම විමර්ශන අංශය සඳහන් කරයි.










