සන්ධානය හදන බව මම දන්නෙත් පැය 24කට කලින් – තිස්ස අත්තනායක

සන්ධානය හදන බව මම දන්නෙත් පැය 24කට කලින් – තිස්ස අත්තනායක

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සමගි ජන බලවේගය සහ නිදහස් පෙරමුණේ සන්ධානගත වීම පිළි බඳව තමන් දැන ගත්තේ එය අත්සන් කිරීමට පැය 24කට කලින් බවත් ඒ නිසා තමන්ට එම අවස්ථාවට සහභාගී වීමට නොහැකි වූ බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

සන්ධානයට පුද්ගලයන් එකතු කර ගැනීමේදී වාසිය තකා එහෙට මෙහෙට පනින පුද්ගලයන් පිළිබද ප්‍රවේසම් විය යුතු බවත් සිදු කළ යුතු වන්නේ එන හැම කෙනාම එකතු කර ගැනීම නොවන බවත් එකතු කර ගන්නා පුද්ගලයින් පිළිබදව ඉතා පුළුල්ව සාකච්ඡා කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මේ බව අවධාරණය කළේ එම සන්ධානගත වීමේ අවස්ථාවට තමන්ට සහභාගී වීමට නොහැකි වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු එහිදී පෙන්වා දුන්නේ එලෙස එකතු කර ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන්, සමගි ජන බලවේගය ගොඩනැගීමට මූලිකව කැප වී කටයුතු කළ පුද්ගලයින් සමග පුළුල්ව සාකච්ඡා නොකර තීන්දු තීරණ ගැනීමෙන් සිදු වන්නේ ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු අර්බූදයන්ට මුහුණ දීමට සිදු වනු ඇති බවය. එමෙන්ම සන්ධාන ගොඩනගා ගත යුත්තේ සමගි ජන බලවේගය ගොඩනැගීමට කැප වූ පුද්ගලයන් ආරක්ෂා කරමින් යැයිද ඔහු පෙන්වා දෙයි.

සන්ධානය ගොඩනැගීමට පෙර තවදුරටත් සාකච්ඡා කිරීමට තිබූ බවත් එසේ විවෘත භාවයකින් කටයුතු කරන්නේ නම් එය ඉතාමත් හිතකර වනු ඇති බවත් ඔහ පවසයි. චෝදනාවලට ලක් වූ සහ මහජනතාවගේ අප්‍රසාදයට ලක් වූ පුද්ගලයන් මෙලෙස එකතු කර ගැනීමට යාමෙන් සිදු වන්නේ මහජනතාව සැක මුසුව බැලීමට පෙළඹෙන බවය. එමෙන්ම එලෙස එකතු කර ගන්නා පුද්ගලයින් සිටි තැන් දෙස බලා සමගි ජන බලවේගය පිළිබඳවද විශ්වාසය නැති වී යා හැකි බවද ඔහු අවධාරණය කරයි.

ඊයේ දිනයේ එකතු වූයේ නිදහස් පෙරමුණේ කොටසක් පමණක් යැයිද සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්