රතු මුහුදේ ගමන් කරමින් තිබෙන වාණිජ නෞකාවලට හවුති කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාර පැවැත්වීම සඳහා බව කියමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ප්‍රහාරක නෞකාවක් යැවීමට සේනාධිනායක රනිල් වික්‍රමසිංහ සැලසුම් කර ඇති බව අනාවරණය වේ.
මේ වෙනුවෙන් රුපියල් මිලියන 650ක් පමණ වැය කෙරෙන බවද, නාවික හමුදා භටයන් 40 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩයක් යෙදවීමට සූදානම් වන බවද මේ වනවිට හෙළිවී තිබේ.
රතු මුහුදේ ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපයීමට බව කියමින් ඇමරිකාව මුලින්ම බලගතු සන්නද්ධ ප්‍රහාරක නෞකා රතු මුහුදු කලාපයට යෙදවීය. ඉන් පසු ඉන්දියාවද එම කලාපයට ප්‍රහාරක නෞකා 4ක් යොදවන බව නිවේදනය කර තිබිණි. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවෙන්ද ආරක්ෂක නෞකාවක් රතු මුහුදට යැවීමේ සැලසුමක් රනිල් වික්‍රමසිංහ සකස් කරමින් සිටී.
මේ සම්බන්ධයෙන් අදාළ තොරතුරු මූලාශ්‍ර හෙළිකරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ මෙම සැලැස්ම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ තුළ දැඩි අප්‍රසාදයක් ප්‍රකාශ වන බව ය. “ගෙදරට මරගාතේ – ලෝකෙට පරකාසේ මෙහෙයුම” යනුවෙන් සමච්චලයෙන් මෙම මෙහෙයුම ආරක්ෂක අංශ තුළ හඳුන්වනු ලබන බව වාර්තා වේ.










