දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට අදාළ විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මීට අදාළ නඩු කරය දෙසැම්බර් මස 08 වැනිදා යළි කැඳවීමටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අද (28) නියෝග කරනු ලැබ ඇත.
ඒ අනුව, මෙම නඩුකරය යළිත් දෙසැම්බර් මස 08 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත් නියෝග කර ඇත්තේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසට, අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට කළ දැනුම් දීම අනුවය.
වර්ශ 2014 ජනවාරි 22 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක දක්වා පැමිණීමට නියමිතව තිබුණු UL-319 දරන ගුවන් යානයේ ගමන් මාර්ගය වෙනස් කිරීමෙන් රජයට ඇමරිකානු ඩොලර් 4,512ක පාඩුවක් සිදු කිරීම සහ 2014 වසරේ ජනවාරි 26 වැනිදා මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශය බලා යාමට සිටි මගීන් 75 දෙනෙකු UL-563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමරිකානු ඩොලර් 19,160ක මුදලක් රජයට පාඩු කිරීම යන චෝදනා සැකකරු වෙත එල්ල වී තිබේ.
ඊට අමතරව, 2014 වසරේ දෙසැම්බර් 19 වැනිදා කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් රුපියල් 1,250,000ක් වැය කිරීම සම්බන්ධයෙන්ද මෙම සැකකරුට එරෙහිව තවත් චෝදනාවක් එල්ල වී ඇති බව සඳහන් වේ.










