ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එවැනි අනෙකුත් මූල්‍ය සංවිධානවලට මැජික් පෙන්වන්න මේ රටේ මිනිසුන් බදු බරින් මිරිකා ඇති බවත්, එම බර පටවන දුෂ්ඨ පාලනය අවසන් කිරීම සඳහා පෙරට ආ යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරන්නීය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (05) පෙරවරුවේ පවත්වන ලද මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරිය මේ බව පැවසුවා ය. එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් පළ කළ අදහස් සහ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළ කරුණු පහත දැක්වේ.
රටක බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී සලකා බැලිය යුතු මූලික කරුණු කිහිපයක් තිබෙනවා. සාධාරණවීම, සමස්ත ආර්ථිකයේ කොටසක්වීම, විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීම, අක්‍රමිකතා අවම වන ලෙස ක්‍රියාත්මක කිරීම, සහ බදු ගෙවන්නන්ට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් විය යුතුයි. මේ කිසිම මූලධර්මයක් අද වෙනකොට අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වන විටත් ඉතාමත්ම අසාධාරණ ලෙස ක්‍රියාත්මක වුණු බදු ප්‍රතිපත්තිය මත වැට් බදු පනවා තිබෙනවා. දැන් අවුරුදු දෙකක් පුරා ක්‍රියාත්මක කරන ආර්ථිකය හැකිළීමෙ ප්‍රතිපත්තිය තුළ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැතිකරලා. ආර්ථිකයට සහභාගීවීමේ හැකියාව ජනතාවට අහුරා තබා මේ යන ගමන ජනතාවගේ පැත්තෙන් නොවෙයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව බදු සහ ආර්ථිකය ගැන කල්පනා කරන්නේ ගිණුම් තුළනය කිරීමේ පැත්තෙන් පමණයි. ආර්ථිකය අවසන් වශයෙන් බලපාන මිනිස් ජීවිත, පවුල් ජීවිත, සහ රටේ සමස්ත පුරවැසියන් ගැන කිසිම තැකීමක් නැහැ. මිනිසුන් කියන්නෙත් සංඛ්‍යා ලේඛන විතරක් හැටියට පාලකයන් හිතනවා නම්, එවැනි පාලකයන් මේ ආකාරයේ ආර්ථික තීන්දු තීරණ ගන්නවා. මේ ආණ්ඩුවට මිනිසුන් හෝ මිනිසුන් ජීවත් වීම ගැන කිසිම අදාළත්වයක් නැහැ. ජාත්‍යන්තරයට අයි.එම්.එෆ්. එකට මැජික් පෙන්වා සතුටු කිරීමේ පදනම මත ආණ්ඩුව ක්‍රියාකරනවා.
අලුතින් පැනවූ බදු නිසා මහජනතාවට පීඩා එල්ලවෙනවා වගේම සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවෙනවා. සියලුදේම කප්පාදුකර අවමයෙන් ජීවත් වීම ගැන හැමදෙනාම කල්පනා කරන්නේ. පොල් සම්බෝලයට ලූණු දාන්නේ කොහොමද කියලා ගෘහණියන් කල්පනා කරනවා වගේම, ආර්ථිකයට සම්බන්ධ ව්‍යවසායකයනුත් කල්පනා කරනවා. මේ දක්වා දෙමාපියන් “මොනවා කළේ නැතත් දරුවන්ට උගන්වන්න ඕනෑ.” කියලා කල්පනා කළා. නමුත් අද වෙනකොට දරුවන් අධ්‍යාපනයෙන් පිටමන් කරවනවා. මොන ක්‍රමයකින් හෝ ආදායමක් සොයා ගන්න තැනට අවුරුදු 15-16 දරුවන් යොමුකර තිබෙනවා. ජනතාවගේ එදිනෙදා පීඩනය ගැන කිසිම සංවේදීභාවයක් නැති බව ඔවුන් කරන කියන සෑම දෙයකින්ම පැහැදිලියි.
විකල්ප නැති බවට ජනාධිපතිවරයා කියන කතාව තක්කඩි කතාවක්. ඕනෑම ප්‍රශ්නයකට විකල්ප තිබෙනවා, උත්තර තිබෙනවා. කුමන විකල්පයක් තෝරා ගන්නවා දැයි තීරණය වෙන්නේ අපි දරණ මතවාදයත් ජනතාව සමග තිබෙන සම්බන්ධතාවයත් උඩයි. ජනතාව මත බර පටවන්න ඕනෑ කියන තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සාධාරණ බදු ක්‍රමයක් ඇති කිරීම, බදු නිසා ආර්ථිකය සංකෝචනය නොවීම සහ බදු ක්‍රමය විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නවා. පාරිභෝගිකයාගෙන් අයකරන වැට් බද්ද ඒ ආකාරයෙන්ම භාණ්ඩාගාරයට ලැබෙනවාද? යන්න විමසා බැලීමේදී ක්‍රමවේද තිබෙනවාද? මිනිස්සු බදු බරින් මිරිකා තිබුණත් ඒ බදු භාණ්ඩාගාරයට ගන්න තාක්ෂණය ක්‍රියාත්මක කර නැහැ. තවදුරටත් තමන්ගේ බලය ආරක්ෂාකර ගැනීම ගැන පමණයි ඔවුන් කල්පනා කරන්නේ. මේ රටේ ගැහැනුන් නිර්භීත, ධෛර්යමත් පිරිසක් බව ඉතිහාසය පුරා ඔප්පුකර තිබෙනවා. අපේ රට අවදානමට පත්වුණු සෑම අවස්ථාවකම ගැහැනුන් ඉදිරියට ඇවිත් තිබෙනවා. නැවත වතාවක් එවැනි මොහොතක් ඇවිත් තිබෙනවා. ගැහැනු අපි නායකත්වය ගත යුතුයි. තවත් සංවිධානය වෙමින් මේ වසරේදී දුෂ්ට පාලනය අවසන් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….
ප්‍රශ්නය: වැට් බද්ද ටික කාලයකට පැනවූ බව ජනාධිපති ඇතුළු ආණ්ඩුව කියනවා. ඒ බව පිළිගන්න පුළුවන්ද?
පිළිතුරු: අපේ රටේ බදු ප්‍රතිපත්තිය ළඟ ළඟම වෙනස් කරනවා. ඒ වෙනස් කිරීමම ප්‍රශ්නයක්. ස්ථාවර බදු ප්‍රතිපත්තියක් නැති එක ලොකු ප්‍රශ්නයක්. අනෙක් පැත්තෙන් බදු අයකරලා ආර්ථිකයක් ශක්තිමත් කරන්න බැහැ. බදු කියන්නේ සමස්ත ආර්ථික සැලැස්මක කොටසක්. ආදායම් එකතු කරන එකම මාර්ගය බදු නම්, ඒ ආර්ථිකයට ගොඩයන්න බැහැ. ණය බර සහ ආර්ථිකය සංකෝචනය වීම යන ප්‍රධාන ගැටලු දෙකට අපි මුහුණදී සිටිනවා. ආදායම් සොයන එකම මාර්ගය බදු කියලා හිතනවා නම්, ඒ තරම් මෝඩ සිතුවිල්ලක් තවත් නැහැ.
ප්‍රශ්නය: අවුරුදු 18 වැඩි සියලු දෙනාට බදු අයකිරීමේ පින් අංකයක් ලබාගත යුතු බවට නියමකර තිබෙනවා. මේ තුළින් ඇතිවන විපාක මොනවාද?
පිළිතුර: ආර්ථිකය විශාල අර්බුදයකට මුහුණ දෙමින් සිටින මොහොතක ජනතාව එක සැලැස්මක් තුළට එකතුකර ගැනීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. දිගින් දිගටම උද්දච්චකම පෙන්වන ආණ්ඩුවකට ජනතාව එකතුකර ගෙන ආර්ථිකය ගොඩනගා ගන්න බැහැ. සමස්තයක් ලෙස ටැක්ස් ෆයිල් එකක් තිබීම පිළිගත හැකි වුවත්, අපේ රටේ එය හඳුන්වා දෙන්නේ මිනිසුන්ගේ ජීවිත අතිශයින්ම අවුල්කර, පීඩාවට පත්කර තිබෙන පසුබිමකයි.










