ඔමික්‍රොන් ජේ.එන් 1 ලංකාවටත් ඇවිල්ලා වියහැකියි – මහාචාර්ය චන්දිම ජීවන්දර

ඔමික්‍රොන් ජේ.එන් 1 ලංකාවටත් ඇවිල්ලා වියහැකියි – මහාචාර්ය චන්දිම ජීවන්දර

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රෝන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

කොවිඩ් පරීක්ෂණ ඉතාමත් අඩු මට්ටමක පවතින හෙයින් ශ්‍රී ලංකාවේ පැතිරීම ගැන මේ අවස්ථාවේදී විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් නැතැයිද ඔහු සඳහන් කරයි.

මේ තත්වය සැලකිල්ලට ගෙන වැඩිහිටියන්, විවිධ රෝගාබාධ හේතුවෙන් දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය මෙන්ම දුර්වල වාතාශ්‍රය සංවෘත ජනාකීර්ණ පරිසරයක සිටින අය නැවතත් මුහුණු ආවරණ පාවිච්චි කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙයි. එමෙන්ම උණ කැස්ස, සුවඳ නැති වීම සහ රසය නැතිවීම, දිගට පවතින අධික උණ තත්වය, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම, වමනය ඇතිවීමේ ප්‍රවණතා මෙම ප්‍රභේදයේ රෝග ලක්ෂණ බවද ප්‍රකාශ කරයි.

මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් බවද ඔහු පවසයි.

කොවිඩ් එන්නත ලබා දීමේ වැඩ පිළිවල තවමත් ක්‍රියාත්මක වන හෙයින් අවදානම් සහිත කණ්ඩායම් බූස්ටර් එන්නත ගැනීම වැදගත් බවද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඉන්දියාවේ කොචි නගරයේ ඉන්ෆ්ලූවන්සා රෝගයට සමාන රෝග තත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් පරීක්ෂා කරන ලද රෝගීන්ගෙන් 30%කට මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇතැයි මහාචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn