මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ත්‍රීරෝද රතයක් තුළ සිට බලහත්කාරය යොදවා පොලිසිය විසින් පැහැරගැනීම සම්බන්ධයෙන් පොලිසිට තුළත් ජනාධිපති මාධ්‍ය ඒකකය තුළත් පැහැදිලි බෙදීමක් සිදු වී තිබෙන බව අනාවරණය වේ.
විශේෂයෙන්ම පොලිසිය තුළ ඉතිරිවී තිබෙන මහජන විශ්වාසය සහ පෞර්ෂය පවා මෙවැනි සිදුවීම්වලින් සම්පූර්ණයෙන්ම බිඳවැටෙන බව ඉහළම පොලිස් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ පහළ කොස්තාපල්වරු දක්වා මතයක් නිර්මාණය වී පවතී. මෙම පැහැරගැනීම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වගකවයුතු බව පොලිස් අභ්‍යන්තරයේ සෘජුවම ජෝදනා එල්ල වී තිබේ. පොලිස්පති සී.ඩී වික්‍රමරත්නත් එම මතයේම සිටින බව අභ්‍යන්තර තොරතුරුවලින් අනාවරණය වේ.
ඊට අමතරව ජනාධිපති මාධ්‍ය ඒකකයේද පැහැදිලි බෙදීමක් වර්ධනය වී ඇති බව අනාවරණය වේ. “මේ වැඩ නිසා අපිට රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලා යන්න බෑ විතරක් නෙවෙයි පවුලේ අයටවත් මුහුණදෙන්න බෑ” යනුවෙන් එම මාධ්‍ය ඒකකයේ ඉහළ සිටින තැනැත්තෙකු ප්‍රකාශ කර තිබේ. ඔහු ඇතුළු පිරිස තරිඳු උඩුවරගෙදර ඇතුළු අරගලකරුවන් සමග ගෝල්ෆේස් පිටියේදී උරෙන්උර ගැටී කටයුතු කළ අය බවද වැඩිදුරටත් අනාවරණය වේ. ජනාධිපති මාධ්‍ය ඒකකය තුළ වැඩිදෙනෙකු මෙම පැහැරගැනීමට එරෙහිව විවිධ මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන සමග මේ වනවිට තොරතුරු හුවමාරු කරගනිමින් ජනාධිපති අවධානයද මේ කෙරෙහි යොමුකරවන බවට පොරොන්දු වී ඇත.










