හෙරොයින් ග්‍රෑම් 30ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරදකරු වූ Saridewi Binte Djamani සිකුරාදා එල්ලා මරා දමන ලදී.
වසර 20කට පමණ පසු ප්‍රථම වතාවට 45 හැවිරිදි කාන්තාවක් මෙසේ එල්ලා මරා දමා ඇත. සිංගප්පූරුවේ මරණීය දණ්ඩනය ලැබිය හැකි ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි හෙරොයින් ග්‍රෑම් 30.72ක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඇය වරදකරු වීමෙන් සිංගප්පූරු අධිකරණය මෙම මරණ දඬුවම ලබා දී ඇත.
“Saridewi Binte Djamani නම් 45 හැවිරිදි සිංගප්පූරු කාන්තාවට පනවා ඇති මරණ දඬුවම 2023 ජූලි 28 වන දින ක්‍රියාත්මක කරන ලදී” යනුවෙන් එරට මධ්‍යම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එම නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් වේ.
“2018 දී වරදකරු වූ Saridewi Binte Djamani, හට “දණ්ඩ නීති සංග්‍රහය යටතේ නියමිත ක්‍රියාවලියෙන් ලැබිය යුතු සියළු ප්‍රතිලාභ හා වරප්‍රසාද ඇය වෙනුවෙන් ලබා දී තිබුණු අතර, සමස්ත නඩු විභාගය පුරාවටම ඇයට නීතිඥවරයකු සහයත්, ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙමින් ඇයව අධිකරණය ඉදිරියේ නියෝජනය කිරීමටත් අවස්ථාව ලබා දී තිබුණි” යනුවෙන් එම ආයතනය නිකුත් කළ නිවේදනයක් මාධ්‍ය වෙත ලබා දී තිබුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටි.
Saridewi Binte Djamani විසින් ඇයගේ වරදට සහ දඬුවමට සමාව ඉල්ලා අභියාචනයක් ඉදිරිපත් කළත් අභියාචනාධිකරණය වසර 2022 ඔක්තෝබර් 06 වන දින ඇයගේ අභියාචනය ප්‍රතික්ෂේප කර ඇත. එසේම ජනාධිපති සමාව සඳහා ඉල්ලු ඇයගේ ඉල්ලීමද එරට ජනාධිපතිවරයා ප්‍රතික්‍ෂේප කර තිබිණි.
සිංගප්පුරුවේ අවසන් වරට කාන්තාවකට මරණ දණ්ඩනය නියම කර ඇත්තේ 2004 වසරේදීය. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් එල්ලා මරා දමන ලද සිංගප්පූරු කාන්තාවක වන Yen May Woen ගේ 2004 දඬුවමෙන් පසු නගර-ප්‍රාන්තයේ අධිකරණයෙන් මරණ දඬුවමට ලක් වූ පළමු කාන්තාව Saridewi Binte Djamani වේ. සිංගප්පූරු බන්ධනාගාර සේවය ලබා දී ඇති මාධ්‍ය වාර්තාවලට අනුව, Yen May Woen 36 හැවිරිදි කොණ්ඩා මෝස්තර ශිල්පිණීයෙකි.
Covid-19 වසංගතය කාලය අතරතුර වසර දෙකක විරාමයකින් පසුව, 2022 මාර්තු මාසයේ සිට නැවතත් සිංගප්පුරුවේ අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ විය. එතැන් සිට සිරකරුවන් 15 දෙනෙකු එල්ලා මරා දමා ඇත.
මෙම ජුලි 26 වනදාත් 57 හැවිරිදි මොහොමඩ් අසීස් බින් හුසේන් හෙරොයින් ග්‍රෑම් 50ක් පමණ ප්‍රවාහනය කිරීමේ වරදට එල්ලා මරා දමන ලදී.
සිංගප්පුරු මානව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයක් වන Transformative Justice Collective පවසනුයේ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට එරෙහිව මරණීය දණ්ඩනය අගෝස්තු 03 වනදා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. මෙම ජාවාරම්කරු 2016 දී අත්අඩංගුවට ගැනීමට පෙර එරට බෙදා හැරීමේ සමාගමක රියදුරෙකු ලෙස සේවය කළ සිංගප්පූරු ජාතිකයෙකි. ඔහු හෙරොයින් ග්‍රෑම් 50ක් පමණක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවන්ට 2019දී අධිකරණයෙන් වරදකරු වී ඇත.
“සිංගප්පූරුවේ මරණීය දණ්ඩන පැනවීමේ නීතිය ප්‍රතිසංස්කරණ කිරීම හෝ එය අහෝසි කිරීම නොකිරිම හේතුවෙන් ලොව පුරා එරට පිළිබඳව දැඩි කතාබහට ලක් වූ සතියක් ලෙස මෙම මරණ දඬුවම ලබා දුන් ජුලි 26 දිනය සැලකෙන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ මරණ දණ්ඩන පිලිබඳ විශේෂඥ Chiara Sangiorgio මාධ්‍ය වෙත පවසා සිටියාය.
“ලෝකයේ බොහෝ රටවල් මෙම කුරිරු දඬුවමට අහෝසි කර තිබුනත්, සිංගප්පූරු රජය තවමත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පුද්ගලයින්ට මරණ දණ්ඩනය ලබා දෙමින්, ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුති සහ එම විෂය සම්බන්ධයෙන් සම්මත කර ගන්නා ලද ජාත්‍යන්තර නීතීන්ට පටහැනිව ක්‍රියා කරමින් සිටිනවා” යයි ඔහු තවදුරටත් මාධ්‍ය වෙත පවසා සිටියේය.
මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ මෙවැනි අපරාධ සම්බන්ධයෙන් මරණ දණ්ඩනය පැනවීම තුළින් මත්ද්‍රව්‍ය නිරාවරණය සඳහා යම් හෝ බලපෑමක් පෙන්නුම් කර නොමැති බවයි. නමුත් සිංගප්පූරු පාලනය එයට පිළිතුරු වශයෙන් අවධාරනය කරනුයේ තම රට තුළ මරණ දණ්ඩනය පවත්වා ගෙන යාම තුළින් ආසියාවේ ආරක්ෂිතම රටක් බවට පත් කිරීමට හැකියාව ලැබී ඇති බවයි.
ලොව ධනවත් හා ආසියානු මූල්‍ය මධ්‍යස්ථානය ලෙස සැලකෙන සිංගප්පුරුව ලෝකයේ ඉතා දැඩිම මත්ද්‍රව්‍ය නීති පනවා ඇති රටක් ලෙස ප්‍රකටය. උදාහරණයක් ලෙස ගංජා ග්‍රෑම් 500කට වඩා හෝ හෙරොයින් ග්‍රෑම් 15කට වඩා ප්‍රවාහනය කිරීම මරණීය දණ්ඩනයට ලක් වීමට හේතුවක් වේ.
සිංගප්පූරු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මේ අතර පැවසුවේ මෙම නීති සංශෝධනය සඳහා අඟලක් හෝ පිටුපසට ගැනීමට ආණ්ඩුව සුදානම් නොමැති බවයි.”සිංගප්පූරුවේ මරණ දණ්ඩනයට නියම වී සිටින කාන්තාවන් සංඛ්‍යාව සුලභ නොවන නමුත් කාන්තාවන් අඩු වීමට පැහැදිලි හේතුවක් නොමැත” ඇය වැඩිදුරටත් පැවසුවාය.
ජාත්‍යන්තර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයට අනුව, පසුගිය 2022 වසරේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ වරදකරුවන් වූ පුද්ගලයන්ට මරණ දණ්ඩනය ලබා දී ඇත්තේ චීනය, ඉරානය සහ සෞදි අරාබිය සහ සිංගප්පූරුවේ යන රටවල් හතර පමණක් වේ










