මිනිසුන්ට අතපය හකුළාගෙන ඉන්න කියා කියනවා නම්, එය කවදාවත් සිදු නොවන දෙයක් – රංගන ශිල්පී ජගත් මනුවර්ණ

මිනිසුන්ට අතපය හකුළාගෙන ඉන්න කියා කියනවා නම්, එය කවදාවත් සිදු නොවන දෙයක් – රංගන ශිල්පී ජගත් මනුවර්ණ

“රනිල් වික්‍රසිංහට අපි කියනවා, ඔබ අනීතිකව බලයට ආ ජනාධිපතිවරයෙක්. ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් හැටියට, පොලීසිය, හමුදාව පාරට ගෙනත්, ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට බාධක පමුණුවන්න ඔබට අයිතියක් නැහැ. මිනිස්සුන්ට රෝහලවල බෙහෙත් නැතිව පීඩා විඳිද්දී, ගෙන්වන ලද බෙහෙත් විෂ වී රෝහල්වල මිය යද්දී, දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙද්දී, පාසල් දරුවාට අවශ්‍ය උපකරණ ටික ගැනීමට නොහැකිව සිටිද්දී, දරුවන්ට අවශ්‍ය කෑම ටික, දෙන්න නොහැකිව දෙමව්පියන් දුක් විඳිද්දී, මිනිසුන්ට අතපය හකුළාගෙන ගෙවල්වලට වෙලා ඉන්න කියා රනිල් රාජපක්ෂ කියනවා නම්, එය කවදාවත් සිදු නොවන දෙයක්. හමුදා, පොලීසිය දහස් ගණනින් පාරට ගෙනත් මේ උද්ඝෝෂණ නවත්වන්න උත්සාහ කළත් එය කළ නොහැකි බව මතක තබා ගත යුතුයි.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රවීණ රංගන ශිල්පී ජගත් මනුවර්ණ අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (29) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රවීණ රංගන ශිල්පී ජගත් මනුවර්ණ වැඩිදුරටත් දැක්වූ අදහස්,

“රනිල් වික්‍රමසිංහගේ විකෘති මනෝභාවය දිනෙන් දිනම එළිදක්වමින් ඉන්නවා. ඔහ තමන්ගේ පරපීඩක ආශාව ඉදිරිපත් කරමින් ඉන්නවා. ඔහු බලයට පත් කළ අය හිතන ආකාරයටත්, ඔහු තමන් ගැන සිතා සිටින ආකාරයටත් තවදුරටත් ඔහු ශක්තිසම්පන්න නායකයෙක් නොවෙයි. ඔහුගේ මාමා පාලනය කළ 88, 89 කාලයට අනුරූපව ඔහුගේ බලය එදාට ඇත්තක් වෙන්න ඇති. නමුත් අද මිනිස්සු වෙනස්, රට වෙනස්, ලෝකය වෙනස් සහ මිනිස්සු දේශපාලනය ගැන සිතන විදිහ වෙනස්.

ඔහුට අවශ්‍ය වෙලා තිබෙනවා තමන් ශක්තිසම්පන්නයෙක් බව පෙන්වන්න. ඊයේ තරිඳු අත්අඩංගුවට ගැනීමෙන් නිදහස් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යකරණයේ නියැලෙන පුද්ගලයන්ට ලබාදෙන භයානක සංඥාවක් තිබෙනවා. රාජපක්ෂ පාලන අවදියේදිත් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට යම් යම් අකටයුතුකම් සිදුවුණා. ප්‍රගීත් එක්නැලිගොඩ, වගේ මාධ්‍යවේදීන් අතුරුදහන් කරවීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, සමහර මාධ්‍යවේදීන්ගේ අතපය කඩන එක, පහර දෙන එක, මේවා ඉතාම සාමාන්‍ය දේවල් බවට පත්වී තිබුණා. රනිල් වික්‍රමසිංහත් මේ වෙනකොට අත්හදා බලන්න ගන්නා උත්සාහයක්ද කියා හිතන්න වෙනවා මේ තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම සහ පහරදීම.

රනිල් වික්‍රසිංහට අපි කියනවා, ඔබ අනීතිකව බලයට ආ ජනාධිපතිවරයෙක්. ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් හැටියට, පොලීසිය, හමුදාව පාරට ගෙනත්, ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට බාධක පමුණුවන්න ඔබට අයිතියක් නැහැ. මිනිස්සුන්ට රෝහලවල බෙහෙත් නැතිව පීඩා විඳිද්දී, ගෙන්වන ලද බෙහෙත් විෂ වී රෝහල්වල මිය යද්දී, දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙද්දී, පාසල් දරුවාට අවශ්‍ය උපකරණ ටික ගැනීමට නොහැකිව සිටිද්දී, දරුවන්ට අවශ්‍ය කෑම ටික, දෙන්න නොහැකිව දෙමව්පියන් දුක් විඳිද්දී, මිනිසුන්ට අතපය හකුළාගෙන ගෙවල්වලට වෙලා ඉන්න කියා රනිල් රාජපක්ෂ කියනවා නම්, එය කවදාවත් සිදු නොවන දෙයක්. හමුදා, පොලීසිය දහස් ගණනින් පාරට ගෙනත් මේ උද්ඝෝෂණ නවත්වන්න උත්සාහ කළත් එය කළ නොහැකි බව මතක තබා ගත යුතුයි.

තරිඳු උඳුවරගෙදර අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දවල් වරුවේ. ඊයේ රාති්‍රී වෙනතුරුත් පොලීසිය, ඔහුගෙන් කටඋත්තර සටහන් කරගෙන තිබුණේ නැහැ. මම ඔහුව බලන්න ගිය මොහොතේ ඔහු කිවුව දෙයක් තමයි, ඔහු අත්අඩංගුවට ගත් තැන සිට ජීප් රථය තුළ රැගෙන එන තැන දක්වා ඔහුට පහර දුන් බව. ඔහුව අත්අඩංගුවට ගත්තේ භයානක අපරාධකාරයෙක් අත්අඩංගුවට ගන්නා ආකාරයට. ඔහුට පහර දෙමින් තමයි අත්අඩංගුවට ගත්තේ. ඊයේ පහර දීමෙන් පස්සේ අද තමයි රෝහලක් වෙත ගෙනගොස් තිබෙන්නේ. ඔහුව අත්අඩංගුවට ගන්නා ආකාරය මාධ්‍ය ඔබ තුළින් දකින්න ඇති. තරිඳු තමන්ගේ භාවිතාව ඉතාම ඉහළින් ඉෂ්ට කරන මාධ්‍යවේදියෙක්. ඔහුගේ මාධ්‍ය කාර්යභාරය ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න, වගේම තමන්ගේ තොරතුරු ජනතාවට නිරාවරණය කිරීම ඉතාම ඉහළින් ඉටුකළ පුද්ගලයෙක්. මෙම අනීතික අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි ගන්නවා. පොලිසිය තුළ පැය ගණනක් රඳවාගෙන උත්සාහ කළේ පහරදීම වසන් කරන්න. දේශපාලන සංවිධානයක් හැටියටත්, ක්‍රියාධරයන් හැටියටත් කලාකරුවන් ලෙස මමත් අපි හැමෝමත් මෙය හෙළා දකිනවා වගේම මේ ක්‍රියාවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයන්ටත් ජනතාව දැනුවත් කරමින් ගත හැකි අනෙකුත් ක්‍රියාමාර්ගයනුත් ගන්නවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්