විධිමත් සෞඛ්‍ය සේවාවක් ඇති කළ හැක්කේ වංචා දූෂණ නැති පාලනයක් යටතේ යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණ කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික ජන බලවෙිගයේ මාධ්‍ය හමුවක් අමමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන.
සෞඛ්‍ය සේවාව මගින් අනපේක්ෂිත මරණයක් සිදුවුණොත් හෝ මරණයක් සිදුවීමට ගියහොත් දියුණු සෞඛ්‍ය සේවාවක් පවතින් රටක විමර්ශනය කිරීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය පද්ධතිය තුළම තිබෙනවා. නමුත් අපේ රටේ පසුගිය සති කිහිපය තුළ සිදුවූ මරණ සම්බන්ධයෙන් අදාළ විමර්ශන සිදු කළ බව අපි දන්නේ නැහැ. සිදු කළා නම් අදාළ විමර්ශන වාර්තා තිබෙන්න ඕනෑ. ඒ වාර්තා හැමෝම දැනගත යුතු වෙනවා. යම් ඖෂධයක් නිසා ගැටලු මතු වුවහොත් අනෙකුත් රෝගීන්ට ඒ ඖෂධ ලබාදීම වහාම නවත්වනවා. නමුත් අපේ රටේ වකුගඩු, අක්ෂි රෝග සම්බන්ධයෙන් ඇති වූ මරණ පිළිබඳව එවැනි වගකීමක් ඉටු වුණේ නැහැ. ප්‍රමිතියෙන් තොර ඖෂධ අපේ සෞඛ්‍ය පද්ධතියට ගෙනඒමට කටයුතු කළ ඇමතිවරයා සහ අනෙකුත් නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය විශාල වශයෙන් මේ කඩාවැටීමට බලපා තිබෙනවා. ප්‍රමිතිය ආරක්ෂා කිරීමේ කමිටු, ඖෂධවල මිල තීරණය කිරීමේ කමිටු ආදී වශයෙන් ආරක්ෂක විධිවිධාන ගණනාවක් තිබෙනවා. නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
මෙතන තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. ඩෙන්මාර්කයෙන් ඇනවුම් කළ ඉන්සියුලින්වල මිලට වඩා දෙගුණයක් මිල වැඩි යුක්රේනයෙන් ලබාගන්න කටයුතු කර ඇති බව හෙළිවී තිබෙනවා. ඖෂධ මිල වැඩිවීම වගේම ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම පිටුපස තිබෙන වංචා-දූෂණ පිළිබඳව වගේම අකාර්යක්ෂමතාවය ගැන අපිට පැහැදිලියි. එදා ගෙවල්වල පවා සිදුකළ දරු ප්‍රසූතිය අද රෝහලකදී පවා කර ගන්න ගර්භණී මව්වරු බියවී සිටිනවා. හදිසියේ වත් ශල්‍යකර්මයක් සිදුකරන්න වුවහොත් ජීවිතය පිළිබඳ අවිනිශ්චිතාවයක් තිබෙන බව ඔවුන් කල්පනා කරනවා. අපි මේ කතා කරන්නේ ඍජු මරණ සම්බන්ධවයි. සෞඛ්‍ය පද්ධතියේ පවතින මේ වංචා-දූෂණ නිසා වක්‍ර මරණ රැසක් පවතිනවා. රෝහල්වල පමණක් නොවෙයි ෆාමසිවල පවා ඖෂධ හිඟයක් පවතිනවා. තිබෙන ඒවත් විශාල වශයෙන් මිල ඉහළයි. නිර්දේශ කරන ප්‍රමාණයට ඖෂධ ලබා නොගැනීමත් සංකූලතා ඇතිවීමට හේතුවක්. එවැනි මරණ සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන නැහැ. ඒ වගේම රෝග නිශ්චයට අදාළ උපකරණ රජයේ රෝහල්වල නැහැ. රෝග නිශ්චය සඳහා භාවිතා කරන රසායන ද්‍රව්‍යයත් නැති තත්වයක් තිබෙන්නේ. මේ නිසා රෝගීන් මිය යනවා. මවුවරුන්ට සහ දරුවන්ට නිසි පරිදි ත්‍රිපෝෂ ලබාදීමට නොහැකි වීමත් බරපතළ ගැටලුවක්. මේ සියල්ල නිසා වක්‍රකාරව සිදුවෙන මරණ ගැන විශේෂයෙන් සටහන් නැහැ. වෛද්‍යවරුන් හිඟවීමත් මේ වගේම වක්‍රකාර මරණවලට හේතුවක්. ලැබෙන වැටුප ප්‍රමාණවත් නැතිව තිබෙන පසුබිමක්, ආර්ථිකය සංකෝචනය වෙන පසුබිමක් තුළ පවා අසීමිතව බදු පනවා තිබෙනවා. ඒ නිසා වෛද්‍යවරුන්ට රටෙන් බැහැර වෙන්න බලකර තිබෙනවා.
භයානකම තත්වය වෙන්නේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ආචාර්යවරුන් රට හැරයාමයි. අපේ රටේ නිවැරදි නායකත්වයක් නැතිකම රට අත්හැර යන්න ප්‍රධාන හේතුවක් බව කැලණිය විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. අපේ රටේ නායකත්වය පිළිබඳ තිබෙන අවිශ්වාසය, අනාගතය පිළිබඳ අවිශ්වාසය, දරුවන්ගේ අනාගතය වැනි කරුණු වැටුපට අමතරව රට හැර යාමට හේතු වී තිබෙනවා. වයඹ, සබරගමුව, මොරටුව සහ ඌව වෙල්ලස්ස යන අලුතින් පිහිටවූ වෛද්‍ය පීඨවල ආචාර්ය මණ්ඩල විශාල හිඟයක් තබෙනවා. ඒ බලපෑම රජරටට වගේම කොළඹ වෛද්‍ය පීඨයටත් අනෙකුත් වෛද්‍ය පීඨවලටත් දවසින් දවස ව්‍යාප්ත වෙමින් තිබෙනවා. රට අත්හැර යන මේ ආචාර්යවරුන්ගෙන් 22%ක් නැවත මේ රටට නොඑන්නම යන බව සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා. මේක ලොකු විනාශයක්. වෛද්‍යවරු පමණක් නොව හෙදියන් ඇතුළු අනෙකුත් වෘත්තකයන් පවා රෝහල් පද්ධතියෙන් බැහැරව විදේශ ගත වෙනවා. මේ නිසා රෝහල් පද්ධතියම වසා දැමීමේ තත්වයක් මතුවී තිබෙන්නේ. අධ්‍යාපනයට බලපා තිබෙන අර්බුදය සෞඛ්‍ය සේවයට ඍජුවම බලපානවා. බොහෝ ඇමතිවරු නමගිය දූෂිතයෝ. සෞඛ්‍ය ඇමති අස්කළා වුණත්, මේ සිස්ටම් එක යටතේ කවදාවත් මෙය ගොඩනඟන්න බැහැ. ඒ නිසා මේ ආණ්ඩුවම විසුරුවා හැර මැතිවරණයක් පවත්වා තමන්ට කැමති ආණ්ඩුවක් පත්කර ගන්න ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි. ඒ තුළින් වංචාව-දූෂණය නැතිකර කාර්යක්ෂම සෞඛ්‍ය සේවයක් ස්ථාපිත කළ හැකියි.










