ඉන්දියාවේ සඳ මෙහෙයුමට තිබෙන සූදානම

ඉන්දියාවේ සඳ මෙහෙයුමට තිබෙන සූදානම

අද (14) චන්ද්‍රයාන් iii රොකට්ටුව මගින් සඳ ගවේශනයට ඉන්දියාවේ සූදානම සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ් අඩවිය පළකළ සවිස්තර වාර්තාව උපුටා ගෙන පහත පළ කෙරේ.

චන්ද්‍රයාන්-3: ඉන්දියාව ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුම දියත් කිරීමට සූදානම්

ඉන්දියාව අද (ජූලි 14 දා) ඔවුන්ගේ තෙවැනි චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කිරීමට සැරසෙමින් සිටියි. ඔවුන් ඉලක්ක කරන්නේ, එතරම් ගවේෂණයට ලක්ව නැති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසින පළමුවැන්නන් වීම ය.

ලෑන්ඩරයක් හා රෝවරයකින් සමන්විත චන්ද්‍රයාන්-3, අද පැය 14:35ට ශ්‍රීහරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට දියත් කිරීමට නියමිත ය.

ලෑන්ඩරය අගෝස්තු 23 – 24 පමණ වන විට චන්ද්‍රයා වෙත ළඟාවීමට නියමිතබව අභ්‍යවකාශ බලධාරීන් ප්‍රකාශ කළේ ය.

මෙහෙයුම් සාර්ථක වුවහොත්, එක්සත් ජනපදයට, පැරණි සෝවියට් සංගමයට සහ චීනයට පසු සඳ මත මෘදු ගොඩබෑමක් සිදුකළ සිව්වන රටබවට ඉන්දියාව පත්වනු ඇත.

ඉන්දියානු චන්ද්‍ර ගවේෂණ වැඩසටහනෙහි තෙවැන්න වන චන්ද්‍රයාන්-3, එහි පෙර සඳ මෙහෙයුම්හි සාර්ථකත්වය මත ගොඩනැගෙනු ඇතැ යි අපේක්ෂා කෙරෙයි.

මෙම මෙහෙයුම සිදුවන්නේ 2008 දී දියත්වූ පළමු ඉන්දියානු චන්ද්‍ර මෙහෙයුමෙන් වසර 13කට පසුව ය. එම පළමු මෙහෙයුම “හඳ මතුපිට ජලය හොයපු පළමු හා වඩාත්ම සවිස්තරාත්මක මෙහෙයුම වගේම, දවල් කාලයේ දී හඳට වායුගෝලයක් තියෙබවත් තහවුරුකර ගත්තා,” චන්ද්‍රයාන්-1හි ව්‍යාපෘති අධ්‍යක්ෂ මයිල්ස්වාමි අන්නදුරෙයි ප්‍රකාශ කළේ ය.

ඕබිටරයක්, ලෑන්ඩරයක් හා රෝවරයකින් සමන්විත වූ චන්ද්‍රයාන්-2, 2019 ජූලි මාසයේ දී දියත් කෙරුණු නමුත් එය අත්කර ගත්තේ අසම්පූර්ණ සාර්ථකත්වයකි. අදටත් එහි ඕබිටරය සඳ අධ්‍යයන කරමින් එය වටා භ්‍රමණයවන නමුදු, මෘදු ගොඩබෑමක් සිදුකිරීමට අපොහොසත්වූ ලෑන්ඩරය හා රෝවරය ගොඩබෑමේ දී විනාශවිය. එසේ සිදුවූයේ “අවසන් මොහොතේ තිරිංග පද්ධතියේ ඇතිවූ දෝෂයකින්” වග අන්නදුරෙයි පැහැදිලි කළේ ය.

පසුගිය අනතුරෙහි දත්ත සාවධානව අධ්‍යයනයකර, එහි වූ දෝෂයන් නිවැරදි කිරීම සඳහා සමාකරණ අභ්‍යාසයන් සිදුකර ඇතැ යි, ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (Indian Space Research Organisation/ ISRO) ප්‍රධානී ස්‍රීධර පානිකර් සෝමනාත් ප්‍රකාශකර ඇත.

කිලෝග්‍රෑම් 3900ක බරින් යුතු, ඉන්දියානු රු. බිලියන 6.1ක වියදමකින් තනනු ලැබූ චන්ද්‍රයාන්-3ට ඇත්තේ ද එහි පූර්වගාමියාට තිබූ අරමුණුම – එනම්, සඳ මත මෘදු ගොඩබෑමක් සිදුකිරීමබව ද ඔහු සඳහන් කළේ ය.

How Chandrayaan-3 will reach the moon

කිලෝග්‍රෑම් 1500ක් පමණ බර ලෑන්ඩරය (මෙය ISROහි නිර්මාතෘගේ නමින් ‘වික්‍රම්’ ලෙස නම්කොට ඇත) විසින් කිලෝග්‍රෑම් 26ක් බර රෝවරය ප්‍රවාහනය කරයි. එය ‘ප්‍රාග්යාන්’ එනම් සංස්කෘතයෙන් ‘ඥානය’ ලෙස නම්කර තිබේ.

සිකුරාදා දියත් කිරීමෙන් පසු, චන්ද්‍ර කක්‍ෂයට ඇතුළුවීම සඳහා යානාවට දින 15ක් 20ක් පමණ ගතවනු ඇත. අනතුරුව පැමිණෙන සති කීපයේ දී, විද්‍යාඥයින් විසින් එයට මෘදු ගොඩබෑමක් සිදුකළ හැකිවන පරිදි රොකට්ටුවේ වේගය ක්‍රමයෙන් අඩු කරනු ඇත.

සියල්ල සැලැස්මට අනුව සිදුවුවහොත්, රෝද හයේ රෝවරය ලෑන්ඩරයෙන් පිටවී චන්ද්‍රයා මතුපිට ඇති පාෂාණ සහ ආවාට වටා සැරිසරමින්, විශ්ලේෂණය කිරීමට පෘථිවියට යැවීම සඳහා තීරණාත්මක දත්ත සහ ඡායාරූප රැස්කරනු ඇත.

“රෝවරය ගෙනියනවා උපකරණ පහක්. ඒවයින් හඳ මතුපිට භෞතික ලක්ෂණ ගැනත්, මතුපිටට ආසන්න වායුගෝලය ගැනත්, මතුපිටට යටින් සිදුවෙන භූ කාරක ක්‍රියාකාරකම් ගැනත් තොරතුරු හොයන්න අවධානය යොමු කරනවා. අපි අලුතින් දෙයක් හොයාගනිවි කියලා මම බලාපොරොත්තු වෙනවා,” සෝමනාත් මිරර් නව් පුවත් සේවය වෙත පවසා තිබුණි.

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය තවමත් බොහෝකොටම අධ්‍යයනයට ලක්ව නැත – එහි සඳේ අඳුරු ප්‍රදේශය යටතේ පවතින භූමි ප්‍රමාණය උත්තර ධ්‍රැවයට සාපේක්ෂව විශාලබැවින්, ස්ථිරව සෙවනැල්ල යටතේ පවතින ප්‍රදේශවල ජලය තිබීමේ හැකියාවක් පවතිනබව පැවසෙයි.

2008 දී සඳේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්නයෙන් ජලය සොයාගත් පළමු යානාව වූයේ චන්ද්‍රයාන්-1 ය.

“අපට මේ ප්‍රදේශය ගැන විද්‍යාත්මක වශයෙන් වැඩි උනන්දුවක් තියෙන්නේ, සමකාසන්න ප්‍රදේශයට – ඒක ගොඩබෑම් සඳහා ආරක්‍ෂිත යි – මේ වන විට ප්‍රවේශවෙලා ඒ සම්බන්ධයෙන් දත්ත ගොඩක් තියෙන නිසා,” සෝමනාත් පැවසීය.

“අපට වැදගත් විද්‍යාත්මක සොයාගැනීමක් කරන්න ඕන නම්, අපට දක්ෂිණ ධ්‍රැවය වගේ අලුත් ප්‍රදේශවලට යන්න සිද්ධවෙනවා. නමුත් ඒවායේ දී ගොඩබෑමේ අවදානම වැඩියි.”

චන්ද්‍රයාන්-2 විනාශවීමේ දත්ත “එකතුකර, විශ්ලේෂණයකර” ඇතිබව පවසන සෝමනාත්, නවතම මෙහෙයුමේ සියලු දෝෂ නිවැරදි කිරීමට එය උපකාරවූබව ද ප්‍රකාශ කළේ ය.

“චන්ද්‍රයාන්-2 ඕබිටර් එකෙන්, අපට ගොඩබහින්න ඕන ස්ථානයේ හයි රෙසලූෂන් පින්තූර එවලා තියෙනවා. ඒ දත්ත හොඳින් අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා එතන කොච්චර ආවාට, කොච්චර පර්වත තියෙනවා ද කියලා. ඒ නිසා අපි වඩාත් හොඳ අවස්ථාවක් ලබාගන්න බලාගෙන ගොඩබැසීමේ කලාපය පුළුල් කරලා තියෙනවා.”

චන්ද්‍ර දිනයක ආරම්භය (චන්ද්‍රයාගේ එක් දිනක් පෘථිවි දින 14කට සමාන ය) සමග සමපාතවීම සඳහා යානය ගොඩබෑම “අතිශය නිරවද්‍ය” විය යුතුබව අන්නදුරෙයි පවසයි. මන්ද, ලෑන්ඩරයේ සහ රෝවරයේ බැටරි ආරෝපණයවීමට හා ක්‍රියා කිරීමට සූර්යාලෝකය අවශ්‍ය ය.

LVM3 launch rocket and Chandrayaan-3

2000 ගණන්වල මුල්භාගයේ දී සඳ මෙහෙයුමක් පිළිබඳව සිතා බැලුනේ, ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වර්ධනය ඇතිවූ එකල බොහෝ තාක්ෂණ උපාධිධාරීන්ට මෘදුකාංග කර්මාන්තයට බැඳීමට අවශ්‍යවූ හෙයින් ඔවුන් ආකර්ෂණයකර ගත හැකි උද්යෝගීමත් ව්‍යාපෘතියක් ලෙසබව අන්නදුරෙයි පවසයි.

“ඒකට චන්ද්‍රයාන්-1 සාර්ථකත්වය උදව්වුණා. අභ්‍යවකාශ වැඩසටහන ඉන්දියාවේ අභිමානය පිළිබඳ යමක්බවට පත්වුණා. දැන් ISRO එකට වැඩ කරන එක හරිම ගෞරවාන්විත දෙයක් විදියට යි සැලකෙන්නේ.”

නමුත් අන්නදුරෙයි පවසන පරිදි ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහනෙහි පුළුල් ඉලක්කය වන්නේ, “විද්‍යාවත්, තාක්‍ෂණයත්, මානව වර්ගයාගේ අනාගතයත් ආවරණය කිරීම” යි.

සඳ වෙත ‘ඇහැ ගහගෙන’ සිටින එකම රට ඉන්දියාව නොවේ – ග්‍රහලොව ගැන ඇති උනන්දුව ගෝලීය වශයෙන් වැඩෙමින් පවතියි. විද්‍යාඥයන් පවසන්නේ, ගැඹුරු අභ්‍යවකාශය වෙත දොරටුවක් ලෙස බොහෝවිට සැළකෙන මේ ග්‍රහලොව ගැන අවබෝධකර ගැනීමට තවත් බොහෝ දේ ඇතිබව යි.

“අපට හඳ ප්‍රත්‍යන්ත මුරපොළක්, ගැඹුරු අභ්‍යවකාශයට දොරටුවක් විදියට සංවර්ධනය කරන්න ඕන නම්, එහෙ තියෙන අමුද්‍රව්‍යවලින් අපට ගොඩනගන්න පුළුවන් මොන විදියේ වාසස්ථානයක් ද, එහෙ ඉන්න අපේ මිනිස්සුන්ට ඕනේ කරන දේවල් ප්‍රවාහනය කරන්නේ කොහොමද කියන දේවල් හොයා බලන්න තවත් ගොඩක් ගවේෂණ සිද්ධ කරන්න අවශ්‍ය යි,” අන්නදුරෙයි පවසයි.

“ඒ නිසා, ඉන්දියාවේ ගවේෂණවල අවසාන ඉලක්කය තමයි, අපෙන් කිලෝමීටර 360,000ක් ඈත අභ්‍යවකාශයේ තියෙන හඳ යම් දවසක දී පෘථිවියේ විස්තීරණ මහාද්වීපයක් වෙච්ච දවසක අපි නිෂ්ක්‍රීය නරඹන්නෙකුබවට පත්වෙනවා වෙනුවට, අපට ඒ මහද්වීපයේ සක්‍රීය, ආරක්‍ෂිත ජීවයක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් දිගටම වැඩ කරන්න ඕන.”

ඉඳින්, චන්ද්‍රයාන්-3 මෙහෙයුම සාර්ථකවීම එම දිශාවට තබන වැදගත් පියවරක් වනු ඇත.

ගීතා පාන්ඩේ

බීබීසී පුවත්, දිල්ලිය

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්