ජීවිතවලට වග නොකියන ආණ්ඩු ගැන දේශපාලන තීන්දුවක් ජනතාව විසින් ගත යුතුයි – වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජීවිතවලට වග නොකියන ආණ්ඩු ගැන දේශපාලන තීන්දුවක් ජනතාව විසින් ගත යුතුයි – වෛද්‍ය නලින්ද ජයතිස්ස

“සමහර ඖෂධ සහ එන්නත්වලින් ලක්ෂයකට, ලක්ෂ පහකට, හෝ දහයකට එකක් අනුපාතයට සංකූලතා ඇති විය හැකියි. ඒ අවස්ථාව බැහැර කරන්නේ නැහැ. පේරාදෙණියේ සිදුවූ අවසන් මරණයට සම්බන්ධ ඖෂධය භාවිතා කිරීමට සිදුවූ පරිසරයක් තිබෙනවා. සංකූලතා අඩු ඖෂධ රෝහලේ තිබිලා නැහැ. ඖෂධ සහ උපකරණ හිඟය විසින් විශේෂඥ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරුන්ට බලකෙරී තිබෙන්නේ පවතින ඖෂධවලින් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට. මේ තත්වය භාවිතා කර ඇමතිවරයා ප‍්‍රමුඛ නිලධාරීන් පිරිස ජනතාවගේ ජීවිත ගැන කිසිදු සැලකිල්ලක් නැතිව අතයට ගනුදෙනුවලින් තත්වයෙන් බාල ඖෂධ ගෙන්වීමේ ජාවාරමක් කරගෙන යනවා. රට බංකොලොත් කිරීම නිසා විදේශ සංවිධාන සහ රටවල් ඖෂධ ගෙන්වීම සඳහාම අපේ රටට ණය ලබාදී තිබෙනවා. ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් හෝ ණය අනුමත කළ පසු ඖෂධ ගෙන්වීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඇමතිවරයාට ළඟ නිලධාරීන්ගේ අත්සන සහිතව ගෙන ඒමේ ක්‍රියාවලියක් සිදුකරනවා. අපේ රටේ රෝගීන් කිහිපදෙනෙකුගේ ජීවිත අහිමි වී තිබෙන්නේ මේ දූෂිත ක්‍රිරයාවලිය නිසා…” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (14) පෙරවරුව් පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් දැක් වූ අදහස්,

“වර්තමාන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විවිධ ගැටලූ රැුසක් මතුවී තිබෙනවා. ආන්දෝලනාත්මක මරණ කිහිපයක් රෝහල්වලින් වාර්තා වුණා. වයස අවුරුදු 21ක තරුණියක් උදරාබාධයකට ප‍්‍රතිකාර ගන්න පේරාදෙණිය රෝහලට ඇතුළත් වීමෙන් පසුව ලබාදුන් ඖෂධය නිසා අසාත්මිකතා කම්පනයක් ඇති වී මියගියා. ඖෂධ නියාමන අධිකාරියේ සහායකවරයෙක් පානදුර මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබාගනිමින් සිටියදී මියගියා. ඊට පෙර පේරාදෙණිය රෝහල ආශ්‍රිතවම නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් මරණ කිහිපයක් සහ ඊට පෙර නුවරඑළිය රෝහලේ අක්ෂි රෝගීන්ට ප‍්‍රතිකාර ගැනීමෙන් පසු අන්ධභාවයට පත්වුණා. කොළඹ අක්ෂි රෝහලේ අක්ෂි රෝගයකට ප‍්‍රතිකාර ගැනීමෙන් පසු මරණයක් සිදුවුණා. ජනතාවට යම් කුකුසක් ඉතිරි කරන ආන්දෝලනාත්මක මරණ කිහිපයක් සිදුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය විශේෂ අවධානය යොමුකර තිබෙනවා. රටේ ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් ලබාදීම වෙනුවෙන් කටයුතු කරන අපි මේ කරුණු කිසිසේත්ම සුළුකොට සලකන්නේ නැහැ.

සෞඛ්‍ය අමාත්‍යවරයාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙක්, ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කිහිපදෙනෙක් සහ ඖෂධ සංස්ථාවේ නිලධාරීන් කිහිපදෙනෙක් ඇතුළු මාෆියාවක් නිසා සෞඛ්‍ය සේවයට මේ තත්වය ඇතිවී තිබෙනවා. ලංකාවට රජයෙන් හෝ පෞද්ගලික අංශයෙන් ඖෂධ ගෙන්වූවත් පුරවැසියන්ට ඒවා ලබාදීම සම්බන්ධයෙන් අවසාන වගකීම පැවරෙන්නේ රජයට. ආහාර ගෙන්වීමටත් වඩා ඖෂධ ගෙන්වීමේදී නීතිරීතිවල දැඩිකමක් තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියෙන් බලවත් නියාමනයකට ඖෂධ ගෙන්වීම යටත්කර තිබෙන්නේ ඒ නිසයි. විදේශීය සමාගමකින් ඖෂධ ගෙන්වීමේදී ලංකාවේ ලියාපදිංචි කරන නියෝජිතයෙක්ගෙන් පමණයි ඖෂධ ගෙන්වන්නේ. කාර්යක්ෂමතාවය, ආරක්ෂිතභාවය, ගුණාත්මකභාවය වගේ ප‍්‍රධාන කරුණු සහ සැපයිය හැකි ප‍්‍රමාණය මූලිකව සලකා බලා අවශ්‍යතාවය මත නියාමන අධිකාරියේ පරීක්ෂණාගාර තුළ සාම්පල් පරීක්ෂාවකුත් සිදුකරනවා. පුරවැසියාට නිසි ඖෂධ ලබාදීමට රජය මැදිහත්වන ක්‍රියාවලිය මේක.

මේ ක්‍රියාවලියත් 100%ක විනිවිදභාවයකින් සහ පාරිශුද්ධභාවයකින් සිදුවන බව අපි කියන්නේ නැහැ. ජාවාරම්කරුවන් රිංගන්න පාරවල් කපාගෙන තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපත් කළ වාර්තාවක් අනුව සමහර සමාගම් ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ සාම්පල් වෙනුවට වෙනත් ඖෂධ ගෙනත් ඇති බව දත්ත සහිතව හෙළිකර තිබෙනවා. මෙය ඉතාම බරපතළ තත්වයක්. සමහර විට නිෂ්පාදකයාගේ ලිපිනයක් වත් නැති තැන්වලින් ගෙනත් තිබෙනවා. මෙවැනි ඖෂධ නිසා මරණයක් සිදුනොවුවහොත් අතුරු ආබාධ සම්බන්ධයෙන් අවධානයක් යොමු වෙන්නේ වත් නැහැ. ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 109 වැනි වගන්තිය යටතේ රටේ යම් හදිසි තත්වයක් මතු වුවහොත් සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැරව ඖෂධ ගෙන්වීමේ බලය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා තිබෙනවා. හදිසි තත්වයට මුහුණ දීම සඳහා ලියාපදිංචි නොවූ සමාගම්වලටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් කමිටුවක අනුමැතිය සහිතව අවස්ථාව ලබාදෙනවා. මේ තත්වය උපයෝගී කරගෙන ලියාපදිංචි නොවූ සමාගම්වලින් කමිටුවකුත් නැතිව ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන විධායකගේ අත්සනින් පමණක් කිසිදු පරීක්ෂා කර බැලීමකින් තොරව ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වමින් තිබෙනවා. මෑතදී සිදුවන මරණ පිටුපස තිබෙන ඇත්ත තත්වය මේක. දූෂිත ගනුදෙනු නිසා මේ මරණ සිදුවී ඇති බව අපට තහවුරු කරන්න පුළුවන්. නිර්වින්දන ඖෂධ නිසා පේරාදෙණිය රෝහලේ මරණ තුනක් සිදුවී ඇත්තේ හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගත් නිර්වින්දන ඖෂධ නිසයි. මෙම ඖෂධය සාමාන්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලියෙන් බැහැරව ගෙන්වීම නිසා ඒ මරණ වාර්තා වී තිබෙනවා.

සමහර මරණවලට ‘ප්‍රොපෝෆොල්’ ඖෂධය හේතු වී ඇති බව වාර්තා වුණා. මැයි 15දා හෝමාගම රෝහලෙන් මේ ඖෂධය සම්බන්ධයෙන් වාර්තා කළත් කිසිදු සොයා බැලීමක් කර නැහැ. මාතර සහ තෙල්දෙණිය රෝහල් මැයි මාසයේ මැද භාගයේ මේ ඖෂධයේ සංකූලතා ගැන වාර්තා කර තිබුණා. ජූනි මාසයේ තුන්වෙනි සතියේදී පමණ පේරාදෙණිය රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියක් මෙම ඖෂධය භාවිතයෙන් ඇතිවන ගැටලු ගණනාවක් ගැන වාර්තා කර තිබුණා. නිර්වින්දනය සඳහා සාමාන්‍යයෙන් ලබාදෙන ප‍්‍රමාණයට වඩා වැඩි මාත‍්‍රාවක් මේ රෝගීන්ට ලබාදීමට සිදුවූ බවත්, ඒ ඖෂධයෙන් පසුව උණ තත්වයන් සහ ස්වසන සංකූලතා ඇති වුණු බව වාර්තා කර තිබෙනවා. මරණයක් සිදුවෙන්නට කලින් මේ ඖෂධය සම්බන්ධයෙන් රෝහල් ගණනාවකින්ම වාර්තා කර තිබියෙදී ‘ප්‍රොපෝෆොල්’ ඖෂධය භාවිතා කළ නිසා කොළඹ අක්ෂි රෝහලේ අවුරුදු 30ක කාන්තාවක් මිය ගියා. පේරාදෙණිය රෝහලේ දරුවෙක් මිය යාම සම්බන්ධයෙන් සැක සංකාවක් පවතිනවා. ලියාපදිංචි නොවූ සමාගම් මගින් ගෙන්වූ ඖෂධවලින් මේ අය මියගියා. නුවරඑලිය අක්ෂි රෝහලේ ප‍්‍රතිකාර ගත් රෝගීන් අන්ධභාවයට පත්වීමත් ඒ වගේ. ඒ අවස්ථාවේත් තත්වයෙන් බාල ඖෂධ භාවිතා කර ඇති බව වගේම අදාළ සමාගම 2019දී පමණ ලංකාවේ ලියාපදිංචිය පවා නැවත ලබානොදුන් සමාගමක් බවත් හෙළිවී තිබෙනවා. අවුරුද්දකට අදාළව තාවකාලිකව ලබාදුන් බලපත‍්‍රයක් මගින් ගෙන්වීමට මුලින් අවසර දී පසුව කිසිදු පරීක්ෂාවකින් තොරව අවුරුදු පහ දක්වා දිගුකොට තිබෙනවා.

සමහර ඖෂධ සහ එන්නත්වලින් ලක්ෂයකට, ලක්ෂ පහකට, හෝ දහයකට එකක් අනුපාතයට සංකූලතා ඇති විය හැකියි. ඒ අවස්ථාව බැහැර කරන්නේ නැහැ. පේරාදෙණියේ සිදුවූ අවසන් මරණයට සම්බන්ධ ඖෂධය භාවිතා කිරීමට සිදුවූ පරිසරයක් තිබෙනවා. සංකූලතා අඩු ඖෂධ රෝහලේ තිබිලා නැහැ. ඖෂධ සහ උපකරණ හිඟය විසින් විශේෂඥ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරුන්ට බලකෙරී තිබෙන්නේ පවතින ඖෂධවලින් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට. මේ තත්වය භාවිතා කර ඇමතිවරයා ප‍්‍රමුඛ නිලධාරීන් පිරිස ජනතාවගේ ජීවිත ගැන කිසිදු සැලකිල්ලක් නැතිව අතයට ගනුදෙනුවලින් තත්වයෙන් බාල ඖෂධ ගෙන්වීමේ ජාවාරමක් කරගෙන යනවා. රට බංකොලොත් කිරීම නිසා විදේශ සංවිධාන සහ රටවල් ඖෂධ ගෙන්වීම සඳහාම අපේ රටට ණය ලබාදී තිබෙනවා. ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් හෝ ණය අනුමත කළ පසු ඖෂධ ගෙන්වීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඇමතිවරයාට ළඟ නිලධාරීන්ගේ අත්සන සහිතව ගෙන ඒමේ ක්‍රියාවලියක් සිදුකරනවා. අපේ රටේ රෝගීන් කිහිපදෙනෙකුගේ ජීවිත අහිමි වී තිබෙන්නේ මේ දූෂිත ක්‍රියාවලිය නිසයි. මේ එක් එක් සිදුවීම් සම්බන්ධයෙන් විවිධ කමිටු පත්කර ඒවා යටපත් කිරීමේ ක්‍රියාවලියක සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල යෙදී සිටිනවා. පෝලිමෙන් පිට ටෙලි නාට්‍ය පන්නලා රාජ්‍ය මාධ්‍යවල විකාශනය කරන්න ටෙලි නාට්‍ය ලබාගත් ක්‍රියාවලිය ඖෂධ ගෙන්වීමේදී අනුගමනය නොකරන ලෙස අනතුරු හඟවනවා. ටෙලි නාට්‍යයක් පෝලිමෙන් පිට දැම්මා කියලා මිනිසුන්ගේ ජීවිත නැති වෙන්නේ නැහැ. ඒ ක්‍රියාවලියේම සෞඛ්‍ය ඇමති වැඩි වේගයකින් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් කිහිපදෙනෙකු සමග ඉන්දියාවට ගොස් සමහර ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් නිරීක්ෂණය කළ බව කියනවා.

වසංගත තත්වයකදී ඖෂධ ලබාගත හැකි වගන්ති පාවිච්චි කර, ලියාපදිංචි නොවූ සමාගම්වලින්, ලියාපදිංචි නොවූ ක‍්‍රමවේදයකට ඖෂධ ගැනීමේ කැමැත්තක් ඔහුට තිබෙනවා. ඔහුගේ සියලු ක්‍රියාකාරකම්වලින් මේ දූෂිත ගනුදෙනු පිටුපස ඔහුට තිබෙන සම්බන්ධය හෙළිවෙනවා. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා මීට පෙර විවිධ චෝදනා මත ඉවත් කළ පුද්ගලයෙක්. නමුත් ඔහු කෙහෙලිය ඇමතිවරයාත් එක්ක කටයුතු කරමින්, ජනතාවගේ ජීවිත මරණය කරා ගෙනයනවා. මේ නිසා සමහර අය ප‍්‍රතිකාර ගැනීම සහ ශල්‍යකර්ම සිදුකර ගැනීම සම්බන්ධයෙන් දෙගිඩියාවකට පත්වී රජයේ රෝහල් පිළිබඳ විශ්වාසයක් බිඳ දැමීමක් වෙනවා. මේ සියලූ සිදුවීම් පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වා ජනතාවට සත්‍යය හෙළි කළ යුතුයි. ජනාධිපතිවරයාගේ සිට කැබිනට් මණඩලයත්, මුළු ආණ්ඩුවමත් රෝගීන්ගේ ජීවිත නැතිවීම සම්බන්ධයෙන් වගකීම බාරගත යුතුයි. ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන ආණ්ඩු පිළිබඳව දේශපාලන තීන්දුවක් ගැනීමට ජනතාව ක්‍රියා කළ යුතුයි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්