“අපේ රටේ ආර්ථිකයට සහ ඩොලර් සංචිතයට බලවත් පහරක් එල්ල වීමේ පසුබිම තුළ සෞඛ්‍යය සහ අධ්‍යාපනය දරුණු ලෙස කඩා වැටුණා. 2020 දී පවා දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.6%ක තරම් සුළු මුදලක් සෞඛ්‍යයට වියදම් කළත්, ඉන්පසුව සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ඒ මුදලවත් වෙන්කළේ නැහැ. බාල, ප‍්‍රමිතියෙන් තොර ඖෂධ ලියාපදිංචි නොකළ සමාගම්වලින් රටට ගෙන්වන්නේ මෙන්න මේ පසුබිම යටතේ.” යැයි ජාතික ජන බලවේගයේ ප‍්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (14) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි.
එහිදී ජාතික ජන බලවේගයේ ප‍්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් පල වේ,
“ඖෂධ විෂවීම් සහ රෝගීන් මිය යාම සම්බන්ධ තත්වය හුදකලාව අපට ගන්න බැහැ. මේ බරපතළ සිදුවීම්වලට අපේ රට පත්වී තිබෙන්නේ රට බරපතළ ආර්ථික, සමාජීය, දේශපාලනික පසුබිමක තිබියදී. සී.ටී ස්කෑන්, එම්.ආර්.අයි ස්කෑන් යන්ත‍්‍ර අක්‍රීය වීම පිළිබඳව, අනෙකුත් උපකරණ අක්‍රීය වීම පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියට පැමිණ තොරතුරු හෙළිකළා. පසුගිය අවුරුදු දෙකේදීම අවශ්‍ය උපකරණ නඩත්තු කිරීමට මුදල් ප‍්‍රතිපාදන වෙන් නොකළ බව අවධාරණය කළා. ඊට අමතරව පසුගිය වසර දෙක තුළ ඖෂධ ගෙන්වීමටත් අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් ලබාදුන්නේ නැහැ. අයවැයෙන් වෙන්කළත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන්නේ නැහැ. පෙර පරිදි ඖෂධ සහ උපකරණ ඇනවුම් කරන්න ඒ වසර දෙක තුළ හැකිවුණේ නැහැ. ඉතාමත් සුළුවෙන් ලැබුණු මුදල් සහ ආධාර මත ඒ අවුරුදු දෙක තුළ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන ගියා.
ගෝඨාභය රාජපක්ෂ කෝවිඩ් වසංගතයෙන් පසුව රුපියල් බිලියන 650ක පමණ බදු සමාවක් දුන්නා. ඒ වගේම ඩොලර් බිලියන 5.5ක් පමණ සංචිත හිඳුවා ඩොලරයේ රුපියල් අනුපාතය 203 රඳවා ගන්න අජිත් නිවාඩ් කබ්රාල් සහ බැසිල් රාජපක්ෂ ක්‍රියාකළා. කෘෂිකර්මාන්තයට රසායනික පොහොර සහ යෙදවුම් තහනම් කිරීමේ ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රතිපත්තිය නිසා අපනයන කෘෂිකර්මාන්තයට බලවත් පහරක් වැදුණා. මේ නිසා අපේ රටේ ආර්ථිකයට සහ ඩොලර් සංචිතයට බලවත් පහරක් එල්ල වීමේ පසුබිම තුළ සෞඛ්‍යය සහ අධ්‍යාපනය දරුණු ලෙස කඩා වැටුණා. 2020 දී පවා දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.6%ක තරම් සුළු මුදලක් සෞඛ්‍යයට වියදම් කළත්, ඉන්පසුව සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ඒ මුදලවත් වෙන්කළේ නැහැ. බාල, ප‍්‍රමිතියෙන් තොර ඖෂධ ලියාපදිංචි නොකළ සමාගම්වලින් රටට ගෙන්වන්නේ මෙන්න මේ පසුබිම යටතේ. පේරාදෙණිය රෝහලේදී තරුණියක් මිය යාම දක්වා පසුබිම සැකසෙන්නේ මේ නිසයි. බාල ඖෂධ නිසා මේ ලෙස එක දිගට එන සිදුවීම්වල වගකීම සෞඛ්‍ය සේවාවට බාර ගන්න බැහැ. එවැනි සිදුවීම් වළක්වන්න සෞඛ්‍ය සේවාව පූර්ව සැලසුම් ගණනාවක් පසුගිය කාලය පුරාම ක්‍රියාත්මක කළා. උපකරණවල විෂබීජහරණය, එන්නත් ලබාදුන් පසු විනාඩි 20ක් පමණ රඳවාගෙන පරීක්ෂා කිරීම, වැනි ක‍්‍රමවේද සෞඛ්‍ය සේවාව තුළ තිබෙනවා. නමුත් ප‍්‍රමිතියෙන් තොර ඖෂධ නිසා ඇතිවන තත්වයන් මෙවැනි සෞඛ්‍ය සේවාවේ ආරක්ෂණ කටයුතුවලින් වළක්වන්න බැහැ.
මෙවැනි සිදුවීම් මෙයට පෙර අධ්‍යයනය කළේ වසංගත රෝග විද්‍යා අංශයෙන්. එම වෛද්‍යවරු දේශීයව සහ විදේශීයව පුහුණු කර තිබුණා. මෙවැනි අනතුරක් පිළිබඳව සොයා බලා නැවත නොවෙන්න වළක්වා ගත හැකි උපදෙස් ලබාදීම මුල් කාලයේදී සිදුකළා. වසංගත රෝග විද්‍යා අංශය යනුවෙන් නම් කර තිබුණත් ඔවුන්ගේ කාර්යභාරයට මේ විෂයද ඇතුළත් කර තිබුණා. නමුත් වර්තමාන සිදුවීම් පිළිබඳව පරීක්ෂා කරන්න මේ අංශයට කිසිදු දැනුම්දීමක් කර නැහැ. වුවමනාවෙන්ම පරීක්ෂා කිරීම් මගහරින බව අපට පැහැදිලියි. නිසි පරීක්ෂණයක් සිදුකළ හොත් ඇත්ත තොරතුරු හෙළිවන නිසා කරුණු සඟවන බව අපට පැහැදිලියි. රටේ ජනතාව මේ වැනි අනතුරුදායක මට්ටමක ඉන්නේ. මේ ආණ්ඩු සහ ඇමතිවරු ජනතාව සම්බන්ධයෙන් වග නොකියන නිසා ඉතා ඉක්මනින් මේ පාලනය වෙනස් කර, ජනතාවගේ ප‍්‍රශ්න පිළිබඳව අවබෝධය සහිත කණ්ඩායමකට පාලනය ලබාදෙනවා මිස, වෙන විසඳුමක් නැහැ. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ සෞඛ්‍ය සේවය පිළිබඳව විශ්වාසය තබන ලෙසත් මේ සියලූ වැරදි නිවැරදි කරගෙන ඉතා ඉක්මනින් නිවැරදි සෞඛ්‍ය සේවයක් ලබාදිය හැකි පාලනයකට පෙළගැසෙනා ලෙස ඉල්ලා සිටිනවා.”










