ශ්‍රී ලංකාවේ ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ගුවන් නියමුවන් මේ වන විට වැල නොකැඩී විදේශ ගත වන බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන තනතුරු 08ක් හිස් වී ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ. ජයකාන්ත පවසයි.
එමෙන්ම ශ්‍රී ලන්කන් සහ මෙරට පෞද්ගලික ගුවන් සමාගමක් වන ෆිට්ස් එයාර් ගුවන් සේවයට විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට අවසර ඉල්ලා ඇතැයිද ඔහු හෙළි කර සිටී.
ඔහු එසේ පැවැසුවේ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවැති ගුවන් සේවා ක්ෂෙත්‍රය පිළිබඳව පාසල් දරුදැරියන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.
මෙහිදි වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් ඔහු දැක් වූ අදහස්,
“ශ්‍රී ලංකාවේ ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ගුවන් නියමුවන් මේ වන විට වැල නොකැඩී විදේශ ගත වෙනවා. එයට හේතුව විදේශ ගුවන් සේවා සමාගම් ඉහළ වැටුප් ගෙවීමයි. එම වැටුප අපේ වැටුප වගේ පස් හය ගුණයකටත් වැඩියි. ඒ නිසා එම ගුවන් සේවා වෙත අපගේ ගුවන් නියමුවන්ගෙන් ලොකු ඉල්ලුමක් තිබෙනවා.
සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය, සියලු කටයුතු පොදුවේ එකම ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපේ නියමුවන්ට තවත් රටක වැඩ කිරීම අපහසු නැහැ.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන තනතුරු 08ක් හිස්. ඒ සඳහා පුවත්පත් ඔස්සේ දැනුවත් කළත් එම තනතුරු සඳහා අව්‍ය සුදුසුකම් සහිත කිසිදු අයෙකු මෙතෙක් හමු වී නැහැ. එම නිසා මෙම වසර තුළදී එම තනතුරු පුරවන්න අවස්ථාව නැහැ.”










