ඇමැතිකම් නැතිව ලොකු පොහොට්ටු තරහින්

ඇමැතිකම් නැතිව ලොකු පොහොට්ටු තරහින්

එක් මන්ත්‍රි ධුරයක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩි කළ නමුත් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමැති තනතුරු දීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් පොහොට්ටුව අභ්‍යන්තරයේ පවතින නොසන්සුන්තාව උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ කරනවා යැයි කියූ කැබිනට් සංශෝධනය දවසින් දවස කල් දැමීම ඔහු විසින් හිතාමතාම කරන බවට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම කනිෂ්ඨයන්ද දැඩි ලෙස චෝදනා එල්ල කරන බව දැනගන්නට ඇත.

කෙසේ නමුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුට ඇමැතිකම් දී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමැතිකම් දෙන බවට කණ්ඩායම් රැස්වීම්වලදී පවා ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති නමුත් අද වනවිට ජනාධිපතිවරයා එයින් කර අමින් සිටින බව පොහොට්ටුවට සම්බන්ධ විශ්වාසවන්ත ආරංචි මාර්ග පෙන්වා දෙයි.
එමෙන්ම කැබිනට් ඇමැතිකම් ලැබූ නවක ඇමැතිවරුන්ගෙන් තම ප්‍රදේශයට කිසිදු වැඩක් කරගත නොහැකි වීමත් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට දැඩි ගැටලුවක් බවත් ඊට හේතුව ඔවුන්ට අත්දැකීම් හා ක්ෂේත්‍රයේ දැනුම නොතිබීමත් තවත් පැත්තකින් ඇතැමුන් ඇමැතිකමින් හිස උදුම්මා ගැනීම බවටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් චෝදනා එල්ල වේ.

විශේෂයෙන් මන්ත්‍රි ධුරයක් පමණක් පළමු වරට හිමි වූ නලින් ප්‍රනාන්දු වැනි පුද්ගලයන්ට ඍජුවම කැබිනට් ඇමැතිකම් දී පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන්ට පිටුපෑම ඔවුන්ට කළ මදිපුංචිකමක් බවත් කියමින් මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි අය මේ වනවිට “අපට දැන් ඇමැතිකම් තිබුණත් එකයි, නැතත් එකයි” යනුවෙන් ප්‍රකාශ සිදුකරන තරමට මෙම අර්බුදය උග්‍ර වී ඇති බවත් පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වසරේ මුල හෝ ඇමැතිකමක් දෙනවා නම් ඒත් කමක් නැහැ යන්න පවසන පොහොට්ටු මන්ත්‍රීවරුද තවම අපේක්ෂා සහගතව සිටින බවත් දැනගන්නට ඇත.
කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට වරින් වර රටේ ආන්දෝලනයට තුඩුදුන් ප්‍රකාශ කළත් අය-වැයට පෙරත් අය-වැයෙන් පසුවත් එය විශාල මාතෘකාවක් බවට පත් විය.

අනුරාධ හේරත් – මවිබිම

Facebook
Twitter
LinkedIn