වාහන නඩත්තු නොකිරිමෙන් තවත් ලෙඩක්

වාහන නඩත්තු නොකිරිමෙන් තවත් ලෙඩක්

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන අමතර කොටස් හිගවීම සහ දිනෙන් දින අධික ලෙස ඉහළ යාමෙන් වාහන නියමිත පරිදි සර්විස් නොකිරීම හා නඩත්තු කිරීම් නිසි වේලාවට නොකිරීම මත දිනෙන් දින මෙරට වායු දූෂණය ඉහළ යෑමේ නව ප්‍රවණතාවක් මතුව ඇතැයි නවතම පක්‍ෂණයකින් හෙළිවී තිබේ.

මේ හේතුවෙන් කුඩා දරුවන්, ගැබිනි මවුවරුන්, පෙණහලු ආශ්‍රිත නිදන්ගත රෝගීන් මෙන්ම හදවත් රෝගීන් දැඩි අවදානමකට ලක් වන බවද මෙම නවතම පරීක්‍ෂණයෙන් හෙළිව ඇත.

විශේෂයෙන් ඔයිල්, ෆිල්ටර් ඇතුළු වාහන අමතර කොටස් මිල සීග්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් බොහෝ වාහන හිමිකරුවන් නිසි වේලාවන්හිදී වාහන නඩත්තු කිරීම හා සර්විස් කිරීම ප්‍රමාද කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු ප්‍රකාශ කළේය.

මින් වැඩි බලපෑමක් ඩීසල් වාහනවලින් සිදු වන බවත්, විශේෂයෙන් බස්, ලොරි නිසා මෙම වායු දූෂණය වේගවත් වී ඇති බවත් එම නිලධාරියා කීය.

ඉකුත් දෙසතියක පමණ කාලය තුළ කොළඹ බැස්ටියන් මාවතේ මෝටර් රථ දෙපාර්තමේන්තු වාහන වායු විමෝචන පර්යේෂණ අංශය සිදු කළ පර්යේෂණයකදී පෞද්ගලික බස් රථ සියයට 50ක් අසීමිත ලෙස වාතය දූෂණය කරන බව හෙළිව තිබේ.

මේ තත්වය පාලනය කර ගැනීම සඳහා නව වසරේ විශේෂ වැටලීම් කිහිපයක් සිදු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් පවසයි.

මව්බිම

Facebook
Twitter
LinkedIn