කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලු ම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) දෙසැම්බර් 26 සිට ලබන වසරේ (2023) පෙබරවාරි 28 දක්වා කාල සීමාව තුළදී සම්පූර්ණයෙන්ම නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, ‘ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම’ යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය මුහුණ දුන් අඛණ්ඩ ප්‍රාග්ධන ඌණතා තත්වය හේතුකොට ගෙන, මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 25 (1) (ක) වගන්තිය අනුව එම තීරණය ගනු ලැබ ඇති බවය.
කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලුම මහජන වගකීම් සම්පූර්ණයෙන් නැවත ගෙවීමට අවශ්‍ය අරමුදල් සම්පාදනයට අවශ්‍ය පියවර තහවුරු කිරීමෙන් සහ එම මහජන වගකීම් ගෙවීමෙන් පසු එම ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව, එම ආයතනයේ තැන්පතුකරුවන්ගේ සහ පොරොන්දු නෝට්ටු හිමියන්ගේ යහපත උදෙසා ඉහත කී නියෝගය නිකුත් කර ඇතැයි මහ බැංකුව පැවසීය.
ඒ අනුව, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය එකඟ වී ඇති පොළී අනුපාතයන්ට අනුව දෙසැම්බර් 26 දින දක්වා උපචිත වන පොළී මුදල්ද ඇතුළුව සම්පූර්ණ මහජන වගකීම් ප්‍රමාණය ගෙවීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.
එම නැවත ගෙවීමේ සැලැස්මට අනුව 2023.02.28 දිනට පෙර සිය මුදල් නැවත ලබා ගන්නා ලෙස කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලු තැන්පතුකරුවන් සහ පොරොන්දු නෝට්ටු හිමියන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.










