ලන්ඩන් නුවර කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියෝ පසුගිය 19 වන දින අපවත් වුහ.
වසර 1947 ජුනි මස 28 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ගලයාය ග්‍රාමයේ උපත ලැබ 1970 වසරේදී පැවිදි දිවියට පිවිසි ඒ හිමියෝ සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලබා විද්‍යෝදය මහ පිරිවෙනෙන් මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්හ.
වසර 1984දී ලන්ඩන් බෞද්ධ විහාරාධිපතිව වැඩසිටි මහාචාර්ය පුජ්‍ය හම්මලව ශ්‍රී සද්ධාතිස්ස නාහිමියන්ගේ ආරාධනයෙන් පියදස්සී හිමියන් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ලන්ඩන් නුවරට වැඩම කළහ. 1989දී ඒ හිමියෝ සද්ධාතිස්ස හිමියනුගේ මග පෙන්වීම යටතේ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නමින් උතුරු ලන්ඩනයේ කෙන්ටන් ප්‍රදේශයේ විහාරස්ථානයක් ආරම්භ කළහ. පසුව එය කිංග්ස්බරි හි ප්‍රතිස්ථාපනය කළහ.
පියදස්සි හිමියන්ගේ ශ්‍රී දේහය ඊයේ (29) සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරවනු ලැබිය. අද (30) සවස ආගමික වතාවත් සිදුකිරීමට නියමිතය. හෙට (31) උදේ 9.45ට ශ්‍රී දේහය විහාරස්ථානයෙන් සිට හෙන්ඩන් ආදාහනාගාරය වෙත වැඩමකරවා අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.










