තම දරුවන්ගේ ආහාර වේල ලබාදීමට පවා නොහැකි තරමට ආර්ථික පීඩනයට පත්වී සිටින ජනතාව මත ලබන වසර තුළ එක් පුද්ගලයෙකු මත රුපියල් 276/-ක දෛනික වක්‍ර බදු බරක් පටවා තිබෙන අතර පාසල් දරුවන්ගේ අත්‍යාවශ්‍ය උපකරණ මිල ද අහස උසට නංවා ඇති බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය චෝදනා කරයි.
එම සංවිධානය අද (29) උදේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම චෝදනාව ආණ්ඩුවට එල්ල කළෝය.
එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පළ කෙරේ.
මව්වරුන්ගේ ප්‍රශ්න වෙනතක හරවන්න අයිස් කතා, බලු කතා කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වනවා

ලබන ජනවාරියේ අලුත් අවුරුද්දේ අලුත් පාසල් වාරයේ ආරම්භයත් එක්ක දෙමාපියන් විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දෙනවා. මේ වන විටත් ආර්ථික පීඩනය නිසා බොහෝ ප්‍රශ්නවලට මුහුණ දී සිටින මාපියන් අතරින් කාන්තාවන් පිට පැටවී තිබෙන බර විශාලයි. නමුත් මවුවරුන් මුහුණ දී සිටින දැඩි ප්‍රශ්න යට ගැසීම වෙනුවෙන් අයිස් කතා, බලු කතා හුවා දක්වමින් මාධ්‍ය සංදර්ශන පවත්වනවා. අපේ රටේ අම්මලාට තියෙන්නේ දරුවන්ගේ ආහාර ලබාදීමේ ප්‍රශ්නයයි. දරුවන්ට ඉගැන්වීමේ ප්‍රශ්නයයි. දරුවන්ට ඇඳුමක් අරන්දීමේ ප්‍රශ්නයයි. ඒ අතර අලුත් පාසල් වාරයේදී අත්‍යාවශ්‍ය පාසල් උපකරණ ලබාදීම ආසන්න මූලිකම ප්‍රශ්නය වී තිබෙනවා. පාසල් දරුවන්ගේ දිවා ආහාරය ලබාදීම සම්බන්ධයෙන් කිසිම සැලැස්මක් ආණ්ඩුවට නැහැ. ඒ ප්‍රශ්නය යට ගහමින් වෙනත් විවිධ කතා ප්‍රචාරය කරමින් පාසල් දරුවන්ගේ ඇඳුම් වාටි පරීක්ෂා කිරීමට පවා පොලීසිය යොදවා තිබෙනවා. මේක දරුවන්ගේ ප්‍රශ්නයක් නොවෙයි. ඇමතිවරුන් මැදිහත්වී ජාවාරම්කරුවන් රැකීම නිසා ඇතිවී තිබෙන ප්‍රශ්නයක්.
මේ කතා කරන්නේ දරුවන් වෙනුවෙන් පීඩනය දරාගන්න බැරිම මොහොතකයි

මම මේ කතා කරන්නේ දරුවන් වෙනුවෙන් පවතින පීඩනය දරාගන්න බැරිම මොහොතකයි. මගේ එක දරුවෙක් 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒ දරුවා වෙනුවෙන් දරන්න වී තිබෙන වියදම සුළුපටු නැහැ. දරුවන්ට අවශ්‍ය මූලිකම දේවල් පවා විශාල වශයෙන් මිල වැඩිවී තිබෙන මොහොතක ඒ පීඩනය දරා ගන්න බැහැ. මගේ මහත්තයා මියගොස් අවුරුදු තුනක් විතර වෙනවා. මේ නිසා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි හඬ නැගුවත් ආණ්ඩුවේ මැතිඇමතිවරුන් අවධානය යොමු නොකරන්නේ ඇයි දැයි හිතා ගන්න බැහැ. අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් නිසි ආහාර වේලක් ලබාදෙන්න වත් නොහැකි අම්මලා, තව කොච්චර රටේ ඉන්නවාද? අපේ දරුවෝ රටේ සම්පතක් බව කීවත් ඔවුන් වෙනුවෙන් මේ පාලකයන් කිසිම විසඳුමක් ලබාදී නැහැ. ඒ නිසා පෑනක් අරන් දීමේ සිට සපත්තු කුට්ටමක් අරන්දීම දක්වා උහුලන්න බැරි මිලක් තිබෙන්නේ. මේ අතර විදුලි බිල වැඩි කළොත් අපේ ජීවිතය තවත් ඉවරයි.
ලොකුම පීඩනය දැනෙන්නේ අම්මලාගේ හදවත්වලටයි

මට පාසල් යන දරුවෝ දෙන්නෙක් ඉන්නවා. රටේ ආර්ථික අර්බුදයෙන් ලොකුම පීඩාවට පත්වී සිටින්නේ කාන්තාවන් වන අපයි. කුස්සියේ අර්බුදය වගේම දරුවන් පාසල් යැවීම දක්වා වැඩිම පීඩනය දැනෙන්නේ අම්මලාගේ හදවත්වලට. පාසල් උපකරණ තුන් ගුණයකින් පමණ වැඩිවී තිබීම නිසා දරුවන් දෙන්නෙක් පාසල් යවන එක දරාගන්න බැරිම මට්ටමකට පත්වෙලා. නව පාසල් වාරයේ දරුවන්ගේ නිල ඇඳුම් මහලා දෙන්න නොමිලේ ලබාදෙන පාසල් නිල ඇඳුම් රෙදිවත් මේ වනතුරු ලබාදී නැහැ. ඒ වෙනුවට පාසල් අවට පොලීසිය යොදවා දරුවන්ගේ පොත් බෑග්වල වගේම ඇඳුම්වලත් මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන්න කටයුතු කර තිබෙනවා. දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් විදිහට මම මත්ද්‍රව්‍ය හොයන්න අල්ලන කැමරා දරුවන්ගේ කෑම පෙට්ටි ඇතුළට අල්ලන්න කියලා අභියෝග කරනවා. පාසල් දරුවන්ට නිසි ප්‍රවාහන පහසුකමක් ලැබෙන්නේ නැහැ. කුසගින්නේ සිටින දරුවන් අත අමතර පොඩි මුදලක්වත් යැවීමට වත්කමක් අම්මලාට නැහැ. දෙමාපියන් ඒ නිසා ලොකු අසරණභාවයකට පත්වී සිටිනවා. මේ ආණ්ඩුවට ඒ පිළිබඳ කිසිම සංවේදීතාවයක් නැහැ. ඒ වගේම අමතර පංතිවලට ගෙවන්න මුදල නැතිකමත් සමාජයේ සුරක්ෂිතභාවය අහිමිවීමත් නිසා දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන්ට විශාල බියක් පවතිනවා. ඒ වගේම ක්‍රීඩා වැනි අමතර කටයුතු වෙනුවෙන් දරුවන් යොමු කරවීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙනවා.
පාසල් වෑන් රථවල ගාස්තු දරාගන්න බැරි නිසා අපේ දරුවෝ දැන් පොදු ප්‍රවාහන සේවයේ බස්වල යන්නේ. දරුවොත් අපිත් නිවෙස්වලට එනකොට ලයිට් කපලා. අම්මලා වැඩකරලා ඇවිල්ලා, අසීරුවෙන් රෑ කෑම ටික ටෝච් එළියකින් හරි සකස්කරලා බලනකොට දරුවො පුටු උඩම නින්දට වැටිලා. අපේ මේ ප්‍රශ්නවලට පාලකයෝ සංවේදී වෙන්නේ කවදාද? රටේ ප්‍රධානම සම්පත මානව සම්පත බව කීවත් මිනිසුන් කායිකව සහ මානසිකව බිඳවට්ටන තැනට මේ පාලකයන් ක්‍රියාකරනවා. පවුලේ සාමජිකයන් පස්දෙනෙක් හෝ හයදෙනෙක් ඉන්නවා නම්, කුස්සියේ අර්බුදය හිතාගන්නත් බැරිතරම් ගැඹුරුයි. මව්පියන් වෙනුවෙන් බෙහෙත් ටික ලබාදෙන හැකියාවක් අපට නැතිවී තිබෙනවා. මාසයට අවශ්‍ය ප්‍රමාණය ගන්නවා වෙනුවට සල්ලි හම්බවෙන විදිහට දවස් කිහිපයකට සැරයක් ලබාගන්න සිදු වී තිබෙනවා. ආහාර ලබාගැනීම වෙනුවෙන් විශාල මුදලක් දරන්න සිදුවී තිබියෙදී විදුලිය කැපීම වැනි අමතර පීඩනයන් එල්ල කළාම මේ බර දරාගෙන ඉස්සරහට යන්නේ කොහොමද? දකුණු ආසියාවේ සාක්ෂරතාවය ඉහළින්ම තිබුණු රටක් පහළටම වට්ටවා අවසන්. පාලකයෝ අම්මලාගේ හදවත්වලට කිසිම සංවේදීකමක් දක්වන්නේ නැහැ.
2023දී බදු පිට බදු නිසා දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා

පාසල් යන දරුවෝ ප්‍රමාණය දවසින් දවස අඩුවෙලා විවිධ අපයෝජනවලට ලක්වෙන ප්‍රමාණය වැඩිවෙනවා. අපේ අම්මලා දැඩි පීඩාවකට පත්වී සිටින්නේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසයි. වතුර බිල වැඩිකර විදුලි බිල නැවතත් වැඩිකරන බවට විදුලිබල ඇමතිවරයා විසින් කරන තර්ජනය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඔහු තර්ජනය කරන්නේ කබලෙන් ලිපට වැටිලා පිච්චි පිච්චි ඉන්න ජනතාවටයි. මේ හැමදේම තුළින් ඇමතිවරු අපේ දරුවන්ගේ අධ්‍යාපනය මළගමට හෙළා අපේ රටේ හෙට දවස මුළුමනින්ම අඳුරට ඇද දමා තිබෙනවා. අධ්‍යාපන ඇමති ඉන්නවාද කියලා හොයා ගන්න නැහැ.
ජනාධිපතිවරයාගේ 2023 අයවැය යෝජනාවල වක්‍ර බදු හැටියට රුපියල් බිලියන දෙදහස් දෙසිය දහඅටක් අපේක්ෂා කරනවා. වක්‍ර බදු කියන්නේ අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවලින් ලබාගන්නා බදුවලටයි. අපේක්ෂා කරන වක්‍ර බදු ප්‍රමාණය රුපියල් කෝටිවලින් දෙලක්ෂ විසිඑක්දහස් අටසියයක් වෙනවා. මේ ප්‍රමාණය රටේ ජනගහනයෙන් බෙදලා දිනකට වෙන්වෙන බදු ප්‍රමාණය ගණන් බැලුවාම දවසකට රුපියල් 276/-ක් අයකර ගන්න සූදානම් වෙනවා. ඒ කියන්නේ ලබන වසරේ පවුලේ හතර දෙනෙකු ඉන්නවා නම් ආසන්න වශයෙන් දවසකට රුපියල් 1105/-ක බදු මුදලක් ඒ පවුල ආදායම් ඉපයූවත් නැතත් බදු ලෙස ගෙවන්න සිදුවී තිබෙනවා.
මේ තරම් බදු ප්‍රමාණයක් පැටවී තිබෙන්නේ අද අපේ රටේ ජනතාවගෙන් 76%ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පසුබිමකයි. ඒ ගැන සංඛ්‍යා ලේඛන පුවත්පත් මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ වගේම ජනගහනයෙන් 73%ක් ආහාරවල පෝෂණය ගැන නොසලකා මොනවායින් හෝ කුසපුරවා ගන්න යොමුවී තිබෙනවා. මෙවැනි තත්වයක ප්‍රතිඵල මොනවාද? මේ අර්බුදය නිසාම මන්දපෝෂණය 15%කින් වැඩිවී තිබෙන බව රජයේ පුවත්පත්ම පෙන්වා දී තිබෙනවා. අපේ රටේ මානව සම්පත උග්‍ර මන්දපෝෂණයකින් පෙළෙන අතර ඔවුන් මත මේ වගේ බදුබරක් පටවා තිබෙනවා. කොසු ඉදල් ගේන්න, වතුර බෝතල් ආනයනය කරන්න, රුපියල් කෝටි ගණනක් වැය කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ආණ්ඩුව මැතිඇමතිවරුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මේ තරම් සල්ලි වියදම් කරන අතර, පාසල් උපකරණවල මිල අඩු කිරීම කෙරෙහි කිසිදු අවධානයක් යොමු කර නැහැ. මෙයට මාස හයකට පෙර පිටු 200 සී.ආර්. පොතක් රු:230ක් වී තිබුණා. අද වන විට ඒවායේ මිල රු:510ක් වී තිබෙනවා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ට සී.ආර්. පොත් ගුණත්වයෙන් යුතු ඒවා ලබාගන්නා ලෙස සමහර පාසල් නිර්දේශ කර තිබෙනවා. නමුත් අවම ප්‍රමිතියේ සී.ආර්. පොතක්වත් අරන් දෙන්න හැකියාවක් දෙමාපියන්ට නැහැ. රටේ බාගයකට වැඩිය ඉන්නේ දවසකට එක ආහාර වේලක් වත් ලබාගන්න බැරිව නම්, දෙමව්පියන් සිටින්නේ මේ වගේ මුදලක් වියදම් කර, පාසල් උපකරණ සහ පොත්පත් ලබාදිය නොහැකි මට්ටමටකයි.
පවතින ආර්ථික පීඩනය හමුවේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ප්‍රමුඛතාව අනුව හතර වැනි හෝ පස්වැනි තැන්වලට හෙළන්න සිදුවී තිබෙනවා. දරුවාට අවුරුදු 16 දක්වා අනිවාර්යයෙන්ම පාසල් යැවිය යුතු බවට නීතියක් තිබුණත් දවසේ වියදම සොයා ගන්නවත් බැරි තත්වයක් යටතේ දරුවන් පාසල් යවන්නේ කොහොමද? බස් ගාස්තු, තිබුණොත් විතරක් උදේ ආහාර වේලක් ලබාදී දරුවා පාසල් යවන තත්වයක් ඇති වී තිබෙනවා. 2023 අවුරුද්ද ලබන්නේ බදුවලින් ජනතාව ඩෝසර් කරගෙනයි. දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නැතිකරන ආණ්ඩුවට මේ රටේ ජනතාව දැඩි අනතුරු ඇඟවීමක් කරන්න ඕනෑ. ආණ්ඩුවේ දිනමිණ පත්තරේම හෙළිකර තිබෙන ආකාරයට සාමාන්‍ය පෙළ සමත් වූ පාසලේම උසස් පෙළ හැදෑරීමට ඇතුල් වීමේදී රුපියල් 10,000 අයකරනවා. ඒ මාපියන්ට රුපියල් දහදාහක් දෙන්න නැති බව ප්‍රකාශ කර ග්‍රාම නිලධාරීවරයාගෙන් ලිඛිත සහතික ලබාගෙන එන්න සිදුවී තිබෙනවා. දරුවන් විභාග සමත්වීම කාලකණ්ණිකමක්ද? දඩ ගැසිය යුතු තත්වයකට පත්වීමක්ද? අපි අද ඉන්නේ ඒ වගේ රටක පාලකයන් යටතේයි. දරුවෙක් විභාගයක් සමත් වෙනවා කියන්නේ පවුලකට එළියක් වුණත් අපේ රටේ එය කාලකණ්ණිකමක් බවට පත්කරන තැනට ආණ්ඩුව අධ්‍යාපන වියදම් කප්පාදු කර තිබෙනවා.
මේ නිසා සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළ කරනවා වෙනුවට පවුලට ආදායම් හොයන්නෙක් වෙන්න දරුවන් උත්සාහ කරනවා. අඩු වයසින් එවැනි තරගයකට, සමාජයකට යොමුවෙන දරුවා මත්ද්‍රව්‍යවලටත්, වෙනත් අපයෝජනවලටත් ලක්වෙනවා. අධ්‍යාපනය ලැබිය යුතු දරුවෝ මෙවැනි තත්වයකට ඇදදැමූ පාලකයන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සමස්තයක් අඩුවීම ගැනත් කිසිදු තැකීමක් කරන්නේ නැහැ. මේ නිසා මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරන බවට බොරු මාධ්‍ය සංදර්ශන වෙනුවට දරුවන්ගේ ඇත්ත ප්‍රශ්න ගැන හොයා බලන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා. ලබන අවුරුද්දේ විදුලි බිල තවත් වැඩිකළාම එයින් අධ්‍යාපනය බිඳ වැටීමේ වගකීමත් ආණ්ඩුව ගන්න ඕනෑ. ජාතික අධ්‍යාපනය සම්පූර්ණයෙන් බිඳදමමින් ගෙනයන ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා. දරුවෝ දෙන්නෙක්, තුන්දෙනෙක් ඉන්න අම්මා තාත්තලා එක් දරුවෙක් පාසලකට ඇතුළත් කරන්න රුපියල් 50,000ක විතර වියදමක් දරන්නේ කොහොමද? අසංවේදී නායකයෝ අපේ දරුවන්ගේ අධ්‍යාපනය වළපලලට ගෙනයාම වහාම නතර කරන ලෙස අපි බලකර සිටිනවා. අධ්‍යාපන උපකරණවල බදු වහාම අඩුකර උසස් පෙළ හදාරණ දරුවන්ට පහසුකම් ලබාදෙන ලෙස බලකරනවා. ආණ්ඩුව මේ ප්‍රශ්නවලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් මාපියන් එක්ක පාරට බහින්න සූදානම් බව අපි අවධාරණය කරනවා.










