ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ඉහළ යන උද්ධමනය හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට තුන්වේල ආහාර ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයිද ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ පිරිසකගේ ජීවනෝපාය අවදානමට ලක්ව ඇතැයිද රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කරයි.
ආහාර මිල ඉහළ යාම හේතුවෙන් පවුලක සාමාජිකයින් ආහාර ගන්නා වේල් ප්‍රමාණය අඩු කිරීමට සිදුව ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ජුනි මස උද්ධමනය 54.6%ක් බවත් ප්‍රවාහන ගාස්තු 128%කින් වැඩි වී ඇති බවත් ආහාර උද්ධමනය 80.1%ක් බවත් නිල දත්ත වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමට ශ්‍රී ලාංකික පවුලක් මසකට රුපියල් 93,675 සිට 148,868 මුදලක් ඉපැයිය යුතු බව ආහාර උද්ධමනය ගණනය කිරීමේ විශේෂඥයෙකු වන ආර්ථික විද්‍යාඥ රෙහානා තව්ෆීක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.
නමුත් ශ්‍රී ලංකික පවුලක සාමාන්‍ය ආදායම මසකට රුපියල් 76,414 බවත් ශ්‍රී ලංකා ජනගහණයෙන් 20%ක් වන දුප්පත් පවුලක මාසික ආදායම රුපියල් 17,572ක් බවත් නිල දත්ත වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය හේතුවෙන් ජනතාව විඳින දුෂ්කරතා තවත් උග්‍ර කරමින් එළවළු මිල දෙගුණ වී ඇති බවත් ගිය වසරේ රුපියල් 145ක් වූ සහල් කිලෝවක මිල අද වනවිට රුපියල් 230ක් වී ඇති බවත් රොයිටර් පුවත් සේවය පවසයි.










