ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑමේ අසීරුතා ඇති වී තිබීම හේතුවෙන් මැදපෙරදිග රටකට ලබාදීම සඳහා රජයේ අවදානය යොමුවී ඇති බව අනාවරණය වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන ආයතනයක් වන බැවින් මැදපෙරදිග වැනි තෙල් පවතින රටකට ලබාදුනහොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව ලැබීම හේතුවෙන් ඒ ගැන වැඩි අවධානයක් යොමුවී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රුපියල් කෝටි තිස් එක් දහස් පන් සියයක පමණ ණය ප්‍රමානයක් සහිතව ශ්‍රී ලංකන් එයාර් ආයතනය පවත්වාගෙන යන්නේ ණය කන්දරාවක් යටතේ හෙයින් මේ ආයතනය මේ රටේ ජනතාවට තවදුරටත් බරක් නොවනු පිණිස ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසරේදීම අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති විවිධ විකල්පයන් හා ගැටලු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් තමාට සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම්දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බව පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් ලැබෙන පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බවද ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකන් සමාගම විකිනිම සම්භන්ධයෙන් පැවති හා පවතින ආන්ඩුව මෑත කාලයේදී යම් යම් ප්‍රකාශද කර තිබුනි.










