ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් කප්පම් ලෙස ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති නඩුවෙන් ඇමති ප්‍රසන්න රණතුංගට අවුරුදු 02ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 05කට අත්හිටුවීමටත් සිර දඬුවමට අමතර රුපියල් මිලියන 25ක දඩයක්ද පැමිණිලිකරු වෙත රුපියල් මිලියනයක වන්දියක්ද ගෙවන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද (06) නියෝග කර තිබේ.
මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත්තේ, ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් කප්පම් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණතුංග පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ගත් බවට වන චෝදනාව ඔප්පුවීමෙන් වරදකරු ලෙස නම් කරමිනි.
ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගැනීමට යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබිණි.
මෙම නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි මීට පෙර අවසන් කර තිබුණු අතර එහි තීන්දුව ලබා දීම අද දිනට නියම වී තිබිණ.
2015 වසරේ අප්‍රේල් මස 06 සහ එම වසරේ ජූනි මස 02වන දා අතර කාලසීමාව තුළ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ වත්මන් ඇමති ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
මෙම නඩුවේ තුන් වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වනවිට අධිකරණය මග හැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටද අධිකරණය තීරණය කර තිබිණි.










