පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු සහ මාළු මිල ගණන්ද පාරිභෝගිකයන්ට දරාගත නොහැකි තරමින් ඉහළ ගොස් තිබේ.
මේ වනවිට එළවළු කිලෝවක තොග මිල සාමාන්‍ය රුපියල් 500කටත් වැඩි අගයක් ගන්නා අතර ඇතැම් එළවළු වර්ගවල සිල්ලර මිල රුපියල් 1,000ක් පමණ වී ඇත.
එමෙන්ම අද (22) එළවළුවල තොග මිල ඉතා ඉහළ මට්ටමක පැවති අතර බෝංචි කිලෝවක් රුපියල් 450ත් 500ත් අතරද තක්කාලි කිලෝවක් 600ත් 700ත් අතරද කැරට් කිලෝවක් රුපියල් 250ත් 280ත් අතරද ලීක්ස් හා ගෝවා කිලෝවක් රුපියල් 140ත් 160ත් අතරද අර්තාපල් කිලෝවක් රුපියල් 300ක් වැනි තොග මිලකට අලෙවි වූ බව වාර්තා වේ.
මේ අතර මාළු මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර තලපත් කිලෝවක් රුපියල් රුපියල් 2,400ත් 2,800ත් අතරද කෙලවල්ලන් කිලෝවක් රුපියල් 2,200ක්ද පරා මාළු කිලෝවක් රුපියල් 1,800ත් 2,000ත් අතරද ඉස්සන් කිලෝවක් රුපියල් 1,600ත් 1,800ත් අතරද සාලය කිලෝවක් රුපියල් 800ක් වැනි ඉහළ මිල ගණන් යටතේද අලෙවි වී තිබේ.
මෙයට හේතුව ලෙස සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසන්නේ පොහොර නොමැතිවීම නිසා ගොවි ජනතාව වගා කටයුතුවලින් ඈත්වීමෙන් අස්වනු අඩුවීම මෙන්ම ඉන්ධන ගැටලුව හේතුවෙන් ප්‍රවාහන කටයුතුවලට බාධා ඇතිවීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ යාමට හේතු වූ බවයි.
මේ හේතුවෙන් වෙළඳපලට පැමිණෙන එළවළු ප්‍රමාණය අඩුවී ඇති අතරම අලෙවි වන ප්‍රමාණයන්ද අඩුවී ඇතැයි ඔහු පවසයි.










