ජවිපෙ නායකයින් සහ පොලිස්පති හමුව හෙට

ජවිපෙ නායකයින් සහ පොලිස්පති හමුව හෙට

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් සහ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න අතර හමුවක් හෙට (23) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එම හමුව පැවැත්වෙන්නේ, රටපුරා පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදු කර නැති පසුබිමක පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අරුණ්දික ප්‍රනාන්දු විසින් එම ප්‍රචණ්ඩ ක්‍රියාවල වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීම අරමුණුකරගෙන කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පොලිස්පතිවරයාට යොමු කරන ලද ලිපිය මත පදනම්ව බවද වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් යොමුකරන ලද ලිපිය පහතින් පල වේ.

“පොලිස්පතිතුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

මහත්මයාණෙනි,

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බවට විවිධ පුද්ගලයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධවයි

පසුගිය 09වැනි දින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව අප පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටි අවස්ථාවේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් පළ කරන ලද අදහසක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරමු.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කරන්නේ, තමන් ඒ මොහොතේ පොලිස්පතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගත් බවත් සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධව අත්අඩංගුවට ගත් 450ක පිරිස අතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් 150ක් සිටින බවට පොලිස්පතිවරයා කියා සිටින බවත්ය.

මෙම අත්අඩංගුවට ගන්නා ලද පිරිසේ දේශපාලන පසුබිම සොයා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති තත්වයක් තුළ සහ කිසිදු සාක්ෂියක් හෝ පදනමක් නොමැති තත්වයක් තුළ මෙසේ 150ක පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් බවට කරන ලද ප්‍රකාශය අතිශය බරපතළය. එම සාහසික ප්‍රකාශය ප්‍රචණ්ඩ ක්‍රියාවල වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීම සඳහා ගනිමින් තිබෙන ආණ්ඩුවේ නිර්ලජ්ජිත උත්සාහයේම කොටසක් බව අපි තරයේ ප්‍රකාශ කරමු.

ප්‍රජාත්නත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින අප පක්ෂය සම්බන්ධයෙන් එල්ල කරන ලද මෙම චෝදනාත්මක ප්‍රකාශය බරපතළ වන බැවින් ඒ පිළිබඳව කඩිනම් පැහැදිලි කිරීමක් පොලිස්පතිතුමා ලෙස ඔබගෙන් අපේක්ෂා කරමු. එසේම ඔබ විසින් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට මෙබඳු තොරතුරක් ලබා දෙන ලද්දේනම් මීට අදාළව අත්අඩංගුවට ගත් පිරිසේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව ඔබ විසින් විශේෂ හඳුනා ගැනීමක් සිදු කර තිබේද යන්නත් ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද සමස්ත පිරිසේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව ඔබ විසින් කරන ලද වර්ගීකරණය රට හමුවේ තැබීමට කටයුතු කරන ලෙසත් අපි ඉල්ලමු.

මේ වන විට දුෂ්ට වුවමනාකම් සහිත විවිධ පුද්ගලයින් සමස්ත ප්‍රචණ්ඩකාරී සිදුවීම් දාමය ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීමට අසාර්ථක උත්සාහයක නියැලෙමින් සිටින බැවින් පසුගිය 09වැනි දින අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගොස්ෆේස් ආශ්‍රිත ප්‍රදේශයේ සිදු වූ මුල් සිදුවීම් සම්බන්ධව සහ පසු සිදුවීම් සම්බන්ධව කඩිනමින් පූර්ණ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසත් වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටිමු.

සමස්ත සිදුවීම් දාමය උපයෝගී කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ දඩයම් කිරීම සඳහා ආණ්ඩුව නිර්ලජ්ජිත හා කුමන්ත්‍රණකාරී උත්සාහයක නිරත බව පැහැදිලිව ප්‍රදර්ශනය වෙමින් ඇති බැවින් මේ පිළිබඳ සත්‍ය තත්වය පැහැදිලි කරගැනීම වෙනුවෙන් ඔබතුමා හමුවීමට කඩිනමින් දිනයක් හා වේලාවක් ලබා දීමට කටයුතු කරන ලෙස අපි වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

විජිත හේරත්
ප්‍රචාරක ලේකම්
ජනතා විමුක්ති පෙරමුණ”

Facebook
Twitter
LinkedIn