පකිස්තානයේ කරච්චි විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදුණු චීන ජාතික ගුරුවරුන් ගමන් කළ වෑන් රථයක් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඊයේ (27) දිනයේ එල්ලකර තිබේ.
එම ප්‍රහාරයෙන් වෑන් රථයේ ගමන් කළ චීන ජාතික ගුරුවරුන් තිදෙනෙක් සහ වෑන් රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සිව් දෙනෙක් එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
කරච්චි විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරකයා කාන්තාවක් වූ බවද පැවසේ. පකිස්තානයේ වෙනම පාලනයක් ඉල්ලා සටන්වදින බෙදුම්වාදී Baloch Liberation Army (BLA) පැවසුවේ ප්‍රහාරය තමන් විසින් සිදු කරනු ලැබූ බවයි. චීනය විසින් පාකිස්තානයේ සිදුකරන ආයෝජන වලට එම බෙදුම්වාදී කණ්ඩායම විරුද්ධ අතර එමගින් දේශීය ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් නොමැති බව පවසයි.
සති ගණනක දේශපාලන කැළඹීම්වලින් පසුව අලුතින් පත්වූ ආණ්ඩුවට මෙම ප්‍රහාරය දැඩි බලපෑමක් එල්ල කර ඇත. විශේෂයෙන්ම පකිස්තානයේ දිගු කලීන මිත්‍රයකු වන චීනය විසින් මේ වනවිට පකිස්තානය පුරා විශාල ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බව පැවසේ.
පකිස්ථානයේදී සිය පුරවැසියන් තිදෙනෙකු ඝාතනය කරමින් එල්ල වූ ප්‍රහාරය චීනය විසින් දැඩි ලෙස හෙළා දැක ඇති , ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව ඉස්ලාමාබාද් පාලනයට ක්‍රියාත්මක වන ලෙස බලකර ඇත.










