දිවුරන්න එපා නීතිය ඉදිරියේ නිර්දෝෂීබව ඔප්පු කරන්න – කතෝලික සභාව මෛත්‍රීට කියයි

දිවුරන්න එපා නීතිය ඉදිරියේ නිර්දෝෂීබව ඔප්පු කරන්න – කතෝලික සභාව මෛත්‍රීට කියයි

හිටපු ජනාධිපති වත්මන් පොහොට්ටු පක්ෂ මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තෙක් නොවන්නේ නම් ඔහු කළයුත්තේ කුරුසියේ අත තබා දිවුරීම නොව නීතිය ඉදිරියේ තම නිර්දෝෂීභාවය ඔප්පුකිරීම යැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පවසති.

සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසුවේ කොළඹ, අගරදගුරු නිල නිවසේදී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විවිධ අවස්ථාවලදී කරන ‘‍වෙලාව ආවම කියන්නම්’, ‘අවශ්‍ය වෙලාවට කියන්නම්’ හෝ ‘දිවුරනවා’ ආදී ප්‍රකාශවලින් ප්‍රශ්නය විසඳෙන්නේ නැතැයිද සිරිල් ගාමිණී පියතුමෝ සඳහන් කරති.

“කියනවා” යැයි කියන දේවල් ප්‍රකාශ කරන්නට තව වසර ගණනාවක් අවශ්‍යද එසේත් නැතිනම් මැතිවරණයක් ආ යුතුදැයි තමන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටින බව ද පියතුමෝ සඳහන් කරයි.

ඔහුට යමක් ප්‍රකාශ කිරීමට ඇත්නම් ඒ බව නීතිය ඉදිරියේදී හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ කළ හැකි බව ද සිරිල් ගාමිණී පියතුමෝ අවධාරණය කරති.

පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම් හා විනය පරීක්‍ෂණ කළ යුතු අය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේද නිර්දේශ කර ඇතැයි කී පියතුමෝ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා සම්පූර්ණ වාර්තාව එළිදැක්වීම රජයේ වගකීමක් බවද වාඩිදුරටත් අවධාරණය කරති.

Facebook
Twitter
LinkedIn