තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල්, වියලි මිරිස්, වියලි හාල්මැස්සන්, මුං ඇට, කඩල, තිරුඟු පිටි, කිරිපිටි, පරිප්පු, බී ළූණු සහ ටින් මාළු, බඩ ඉරිඟු, කරවල, පොල්, ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07ක් නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 02 වන දිනැතිව නිකුත් කළ සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය සහ 2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රයද නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව බඩ ඉරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයෙන් පනවා තිබු උපරිම සිල්ලර මිලද ඉවත් වන අතර එදිනම කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රයද අවලංගු කර තිබේ.

2017 වසරේ දෙසැම්බර් 06 වන දින කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රයද එම වර්ෂයේ ජනවාරි 27 වන දින වියළි හාල් මැස්සන්, මුං ඇට, ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රයද අවලංගු කර ඇති බව නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව 2016 වර්ෂයේ ජූලි මස 14 වන දින කඩල, තිරිඟු පිටි, ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබු ගැසට් පත්‍රය ද අවලංගු කර තිබේ.

මීට පෙර සහල් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රයද අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගනු ලැබීය.

Facebook
Twitter
LinkedIn