කොළඹ ඩෙල්ටා ආසාදිතයින් වැඩිවෙලා – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අනතුරු අඟවයි

කොළඹ ඩෙල්ටා ආසාදිතයින් වැඩිවෙලා – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අනතුරු අඟවයි

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් 20%ත් 30%ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ආසාදිතයින්ගෙන් ලබාගත් වෛරස නියැදි පරීක්ෂා කිරීමෙන් මේ බව අනාවරණය වන බවද ඔහු අවධාරණය කරයි.

“මේ ප්‍රභේද පිළිබඳ තොරතුරු අපි සොයා ගන්නේ, සාම්පල්වලින් විතරයි. PCR පොසිටිව් වෙන සෑම රෝගියෙකුටම අපි ජාන අනුක්‍රමණය කරන්නේ නැහැ. ඒ නිසා අපිට කොහෙත්ම මේ හමුවන රෝගීන් සියලුදෙනාගේම තොරතුරු අපිට ලැබෙන්නේ නැහැ. අපිට මේ නියැදියකින් 10ක් ගත්තහම 20%ක් වත් මේ ප්‍රභේදයේ අය ඉන්නවා. තවත් 10ක් අරන් බැලුවහම ඒකෙනුත් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා නම් අපි කියනවා 30%ක් ඉන්නවා කියලා. එවැනි ඇස්තමේන්තු ගත කිරීමක් තමයි අපි මේ වෙලාවේ කරන්නේ. මේ ගන්න ප්‍රදේශ අනුව, විශ්වවිද්‍යාලය මඟින්ම අපිට ඇස්තමේන්තු කරලා දැනුම්දීලා තියෙනවා, කොළඹ ප්‍රදේශයේ දළ වශයෙන් 20%ත් – 30%ත් අතර අය ඩෙල්ටා ප්‍රභේදයේ අය විය හැකියි කියලා.”

උතුරු ප්‍රදේශයෙන් ද ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් හමුවීම මඟින් තහවුරු වන්නේ ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ එය ව්‍යාප්ත වී ඇති බව යැයිද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දෙයි.

කොළඹ උතුර, කොළඹ දකුණ, ගාල්ල, මාතර, කිළිනොච්චිය හා යාපනය වැනි ප්‍රදේශවලින් මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් හමුවී ඇති බවත් එවන් තත්වයක් තුළ සෙසු ප්‍රදේශවල මෙම ප්‍රභේදය නොමැති යැයි පැවසිය නොහැකි බවත් වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

එනිසා පවතින බැරෑරුම් තත්වය තේරුම් ගනිමින් සියලුදෙනා කටයතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn