මේ වනවිට ආණ්ඩුව කොරෝනා මර්දනයේදී සියලු පැතිවලින් අසාර්ථක වී ඇති බවත් දැන් සිදුවන්නේ කොරෝනා පාවිච්චි කරමින් ආණ්ඩුවේ දේශපාලනික උවමනාවන් සපුරාගැනීමේ කටයුතු බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත පවසයි. ඔහු මේ බව පැවසූවේ ඊයේ (23) කොළඹදී පැවැති ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවකදීය.
කොරෝනා සමග ජීවත් වෙමු යන්න ආණ්ඩුවේ තේමාව වී ඇති බවත් ඒ හරහා කොරෝනා මර්දනයට අසමත් වී ඇති බවත් ආණ්ඩුවේ සැලසුමකින් තොර අවිද්‍යාත්මක ක්‍රියාමාර්ග නිසා එසේ වී ඇති බවත් ඒ තුළ රට දැවැන්ත අර්බුද ගණනාවකට මුහුණ දී ඇති බවත් එහිදී ඔහු පැවසීය.
නිවැරදි වැඩපිළිවෙලක් සහිතව කොරෝනා සමග ජීවත්වෙනවා වෙනුවට කොරෝනා අවසන් කිරීමට දැන් හෝ ආණ්ඩුව කටයුතු කළ යුතුව ඇති බවද එම නිවැරදි පිළිවෙත අනුගමනය කරන්නේ නම් රටේ වැඩකරන ජනතාව සහාය දීමට සූදානම් බවත් ඔහු මෙහිදී පැවසීය. නමුත් දැන් ආණ්ඩුව අනුගමනය කරමින් සිටින පිළිවෙත ජනතාව තව තවත් පීඩනයකට පත් කිරීමේ පිළිවෙතක් බවද එයට එරෙහිව දැන් වැඩකරන ජනතාව ඇතුලු සියලු ක්‍ෂේත්‍රවල ජනතාව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර, ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ, සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරචිචි ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.










