කොරෝනා මර්ධන කටයුතු සඳහා කිසිදු හිඟයකින් තොරව මුදල් වෙන්කර ඇති බව ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා පාරම්බෑවද ඔහු නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේම කොරෝනා ආසාදිතයින් මිය යෑමේ අතිශය ඛේදජනක තත්වය ලංකාදීප පුවත්පත හෙළිකර තිබේ.
“දිනපතාම කොරෝනා නිසා මිය යන පුද්ගලයන් ගිලන් රථවලින් රැගෙන ගොස් ආදාහනාගාරවලදී දවන අන්දම ජනතාව බලා හිඳී. කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ සිට ශීතාගාර සහිත කන්ටේනර් පෙට්ටිවලින් සහ මල්ශාලා වාහනවලින් හා ගිලන් රථවලින් පෝලිමට මළමිනී රැගෙන යන ආකාරය ගැන ජනතාව කියති. මෙවන් ආකාරයකට මින්පෙර කිසිදු කලෙක මළ සිරුරු රැගෙන ගොස් නැති බවද ජනතාව කියති.”
ඉරිදා ලංකාදීප පුවත්පත මෙම ඛේදනීය තත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මූලික රෝහල අශ්‍රිතව වාර්තා කර තිබේ. මෙම දිස්ත්‍රික්කය ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට අමතරව වර්තමාන අගමැතිවරයාද නියෝජනය කරන දිස්ත්‍රික්කය වීම විශේෂත්වයකි.
කොරෝනා මර්ධන වැඩ පිළිවෙල සඳහා මෙරට ධානපතියන්ගෙන් මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන්ද විශේෂඥ වෛද්‍ය කොරෝනා මර්ධන රාජ්‍ය ඇමති සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ ආධාර ඉල්ලා සිටීම පිළිබඳව උරනවූ ජොන්ස්ටන් ඇමතිරයා මෙම රාජ්‍ය ඇමතිවරිය ආතතියෙන් පෙළෙන බව පවසා තිබුණි.










