හම්බන්තොට වන අලි කලමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමේදී එයට නියමිතව තිබූ භූමි ප්‍රමාණයෙන් අක්කර 3600ක් හෙවත් හෙක්ටයාර් 1384ක් මෙම ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් විසින් කොල්ල කා ඇති බව අනාවරණය වේ.
මෙම තොරතුරු අප්‍රෙල් 28 වැනිදා නිකුත් කරන ලද අද පුවත්පතේ පළකර තිබෙන ලිපියක සඳහන් වේ. එම ලිපියෙන් හෙළිකර තිබෙන පරිදි වන ජීවී දෙපාර්තමේන්තුව විසින් 2021 පෙබරවාරි 22 වන දින ලබාදී ඇති තොරතුරු අනුව හෙක්ටයාර් 25726.55ක් වූ භූමි ප්‍රමාණයක් වන අලි රක්ෂිතයට වෙන්කර දී තිබේ.
එහෙත් 2021 අප්‍රෙල් 09වන දින නිකුත් කර ඇති අංක 2222/62 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව එය හෙක්ටයාර් 23746.55ක් දක්වා හෙක්ටයාර් 1384කින් අඩුකර තිබේ. මෙම භූමි ප්‍රමාණය දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දරවැව සිට හම්බන්තොට දක්වා දිවෙන කොටසින් අඩුකර ඇත.
මේ අනුව එම හෙක්ටයාර් 1384 දේශපාලන හිතවතුන් සහ බලවතුන් සහ ධනවතුන් විසින් අල්ලාගෙන ඇති බව අනාවරණය කර ඇත. ඔවුන් එම ප්‍රදේශයේ ගල්මෝල් කිහිපයක් ද පවත්වාගෙන යන බව එම ලිපියෙන් වැඩිදුරටත් හෙළිකර තිබේ.










