හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තාක්ෂණික දෝෂයක් නිසා එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම පසුගිය 16දා කොළඹෂ මහේස්ත්‍රාත් අධිකරනයට දැනුම් දුන්නේය.
මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඉදිරියේ කැඳවනු ලැබුණු අතර එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිණී සේනානායක මෙලෙස දැනුම්දුන්නාය.
එම කරුණු තහවුරු කිරීම සඳහා මෙම නඩුව මාර්තු මස 30 වැනිදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙම නඩුව පැවරීමට එරෙහිව විත්තිකාර මොහාන් පිරීස් ඇතුළු පිරිස ඉදිරිපත් කළ රීට් පෙත්සමෙන් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබූ බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීති නිලධාරිනිය අධිකරණය හමුවේ කියා සිටියාය.
නමුත් එම නඩුව විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇතැයිද ඇය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත් එම නඩුවේ පවතින තාක්ෂණික දෝෂායක් හේතුවෙන් එය ඉල්ලා අස් කර ගැනීමට පියවර ගන්නා බවද අල්ලස් කොමිසමේ නීති අධිකරණයට දැනුම්දුන්නාය.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා මීට අදාළ වැඩිදුර කරුණු දැක්වීම් ඉදිරිපත් කිරීම සඳහා නඩුව මාර්තු මස 30 වැනිදා කැඳවීමට අධිකරණය නියම කළේය.
2010 වසරේ දෙසැම්බර් මස පළමුවැනිදා සහ එම මස 30 වැනිදා අතර කාලය තුළ ලංකා විදුලි සමාගමට ඉඩමක් විලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකාතා සම්බන්ධයෙන් එම සමාගම මේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීති පියවර ගැනීමට නිසි උපදෙස් ලබා නොදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්.එම්.ඩී නවාස් සහ අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්.එම්.සී ෆර්ඩිනැන්ඩූ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන සමයේ මෙම නඩුව ගොනු කර තිබිණි.
අසංක කරුණාරත්න – ලංකා










