කොරෝනා වසංගතයත් සමඟ මව්බිමට පැමිණීමට නොහැකිව විදේශයන් හි අවතැන්ව සිටින 90,000කට අධික ශ්‍රමිකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බල කරන අළුත්ම ආකාරයේ විරෝධතා ව්‍යාපාරයක් ප්‍රගතිශිලි ස්ත්‍රී එකමුතුව විසින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ආරම්භ කර ඇත.
විදේශගතව දුක්විඳිනා තම පවුලේ සාමාජිකයා හෝ හිතවතා මෙරටට ඉක්මනින් ගෙන්වා දෙන ලෙස ඉල්ලීම් සහිත පුවරු රැගත් චායාරූප තම සමාජමාධ්‍ය ගිණුම් හරහා බෙදා හරිමින් ආණ්ඩුවට බලපැමක් කිරීම මෙම ඩිජිටල් විරෝධයේ අරමුණ බව ප්‍රගතිශිලි ස්ත්‍රී එකමුතුවේ ප්‍රකාශිකාවක් ලංකාටෲත් හා පැවසුවාය.
එමෙන්ම පහත දක්වා ඇති හැෂ් ටැග් සහිත සටහන කොපි කර තම ඡායාරූපයත් සමඟ සමාජ මාධ්‍ය ගිණුම හරහා බෙදාහරිමින් රටට දැවැන්තම විදේශ විනිමය උපයාදෙන රට විරුවන් වෙනුවෙන් පෙනී සිටින ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 80,000කට අධික පිරිසක් මවුබිමට පැමිණීමට නොහැකිව විදේශයන්හි අවතැන්ව සිටී. අපගේම සහෝදරියන්ට සහ මවුවරුන්ට අත්වන දුක් පීඩා හිරිහැරයන් ගැන දිනපතා අපට මැදපෙරදිගෙන් ඇසේ. අප රටේ ආර්ථිකයේ විශාලතම බර උසුලන මොවුන්ට අද ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය. අපගේ රටවිරුවන් වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා හඬක් නැගීමට ඔබද අප සමග එක්වන්න.













