අහෝ සිරි ලංකා ක්‍රිකට් ???
දවසින් දවස අගාදයටම යාම වසර ගණනක් සිට තවම අවසන් නැත.
අනාගතය උරාගා බලන කාසිය අද පළුදු වී ඇතිමුත් ඒ ගැන කාටවත් වගේ වගක් නැත. නැවුම් කාසියක් මෙන් අනාගතය උරගා බලන කාසිය සුපුරුදු පරිදි උඩ දමනු ඇත.
නිමා වුන දකුණු අප්‍රිකා සංචාරයට සහ ආරම්භ වූ එංගලන්ත ටෙස්ට් තරගාවලියට සහභාගි වෙන ටෙස්‍ට් සංචිතය මීට පෙර නම් කරනු ලැබීය. කෙසේ නමුත් දකුණු අප්‍රිකා සංචාරයේ ක්‍රීඩකයින් බොහොමයක් ආබාධවලට ගොදුරු වීම නිසා එකී ආබාධ සහිත ක්‍රීඩකයින් වෙනුවෙන් පුරප්පාඩු පුරවන්නට ශ්‍රි ලංකා ක්‍රිකට්වලට හැකි විය.
කෙසේ නමුත් තාමත් සංචිතයේ ආබාධ ක්‍රීඩකයින් ලැගුම් ගෙන ඇත. මෙහි නීරසම කොටස නම් සාමාන්‍යයෙන් තරගාවලියකට කන්ඩායමක් නම් කර එම තරගාවලියේ තරගයක ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයෙකුට ආබාධ ඇති වීම කිසිදු පුදුමයක් නැත. නමුත් ඕෂධ ප්‍රනාන්දු නම් ක්‍රීඩකයා දකුණු අප්‍රිකා සංචාරයට කැදවන්නේ ඔහු ආබාධ තත්වයේම සිටියදී ය.
ක්‍රීඩකයෙක් නව සංචාරයකට නම් කරද්දි ඔහුගේ සෞඛ්‍ය ගැටලු ඇති නම් ඔහු සුව වේ දැයි බලාපොරොත්තු ඇතුව සංචිතයේ ඔහුගේ ස්ථානය වෙන් කරන්නේ නම් එය නවකයෙකුට කරනා බලවත් අසාධාරණයකි.
එසේ දකුණු අප්‍රිකාවේ සංචාරය කරමින් විනෝද ගමනක් එක්කන් ගිය ඕෂධ නැවතත් එංගලන්ත තරගාවලියේ ද අසුන් හිමි කර දුන්හ. ඔහු ඔහුගේ පුහුණුවීම් ආරම්භ කර ඇත්තේද මීට දින කිහිපයකට පෙර ය. එසේ ආබාධ සහිත ක්‍රීඩකයෙක් සදහා සංචිතයේ ඉඩ තරගාවලි පිට තරගාවලි සදහා වෙන් වන්නේ ලංකාව තුළ වෙනත් දක්ෂයින් නොමැති දැයි ක්‍රිකට් තේරිම් කමිටුවට අමතක වීදැයි ප්‍රශ්නාර්ථයක් මතු කරමිනි.
ඕෂධ යනු දක්ෂයෙකි. නමුත් ආබාධය සහිතව ඔහුව සංචිතයේ රදවා ගැනීම මෙන්ම ආබාධය සුව වූ විගසම ඔහුගෙන් කන්ඩායමට සේවයක් බලාපොරොත්තු වේ නම් විටෙක ඔහුගේ සුව වූ ආබාධය ද යලි මතු වී කොරේ පිටට මරේ වන්නට ඉඩ ඇත. එහෙව් වටපිටාවක ඕෂධ ප්‍රනාන්දු නම් දක්ෂයා රදවා ගනිමින් සංචිතයේ ස්ථානයක් නිකරුනේ අපතේ හරින්නට ශ්‍රි ලංකා තේරිම් කමිටුව සමත්ව ඇත.
එසේම කුසල් පෙරේරා යනු ලංකාවෙන් පිටත සාර්ථක වූ ටෙස්ට් පිතිකරුවෙක් මුත් ලංකාව තුළ අසාර්ථක පිතිකරුවෙක් ය. 2015 වසරේ ටෙස්ට් වරම් දිනා ගන්නා කුසල් පෙරේරා අද වනවිට ටෙස්ට් පිටියේ ලදරුවෙකි නොවේ ය. ඔහු අද කන්ඩායමේ සිටිනා අත්දැකීම් බහුල පිතිකරුවෙකි.නමුත් ඔහු ශ්‍රි ලංකාව තුල ටෙස්ට් පිටියේ පිතිකරුවෙකු වශයෙන් ලබාගන්නට හැකි වෙන්නේ 22.73 ක පිතිකරන සාමාන්‍යයකි. එය කිසිසේත්ම ජාත්‍යන්තර මට්ටමේ පිතිකරුවෙක් රදවා ගත යුතු පිතිකරන සාමාන්‍යයක් නොව ලෝක ටෙස්ට් පිටියේ වර්තමාන තත්ත්වය ගත් විට ඇතැම් රටවල පන්දු යවන්නන්ද සිය මව්බිමේදී කුසල්ට වඩා ඉහළ සාමාන්‍යයක් රදවා ගනිමින් පිතිකරනයේ යෙදෙති. ඉතිං එය එසේ තිබියදී තම මව්බිම තුළ එක් ටෙස්ට් ශතකයක්වත් හිමි නැති කුසල් පෙරේරා දකුණු අප්‍රිකාවේ සාර්ථක වූ නිසාවෙන් මෙම තරගාවලියටත් යොදවන්නේ ශ්‍රි ලංකා තේරිම් කමිටුවේ තේරිම් එතරම් බොලද මට්ටමකට පත් වේ දැයි ප්‍රශ්නයකි.
මන්ද 2018 එංගලන්ත කන්ඩායමේ ශ්‍රි ලංකා සංචාරයට බෙන් ෆෝක්ස් නම් ක්‍රීඩකයා ඔවුන් කැදවාගෙන එන්නේ ඔහු ශ්‍රි ලංකාවේ පලමුපෙල ක්‍රීඩා කර ඇති අත්දැකීම් ඇති පිතිකරුවෙක් නිසා ය. එසේ ගෙන ආ ෆෝක්ස් ලංකාවට එරෙහිව සාර්ථක ඉනිම් ගොඩ නගන්නේ එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව තරගාවලියෙන් තරගාවලියට ගන්නා තීරණවල ගුණය අප හට මනාව පෙන්වමිනි.
කෙසේ නමුත් ලංකාවේ එය ඊට හාත්පසින්ම වෙනස් ය. දකුණු අප්‍රිකාවේ සාර්ථක කුසල්ලා මෙන්ම වසර අටක් පමණ ජාත්‍යන්තර ක්‍රිකට් ගැසූ තවමත් එක් ශතකයක් පමනක් උරුම තිරිමාන්නලා කන්ඩායමට කැදවන්නේ එතරම් ශ්‍රි ලංකා ක්‍රිකට් පහත් මට්ටමකට වැටී දැයි දන්නේ තේරිම් කමිටුව පමණි.
ඉන්දීය ටෙස්‍ට් ක්‍රිකට් කන්ඩායමේ පන්දු යවන්නෙක් වන රවිචන්ද්‍රන් අශ්වින්ටත් වඩා අඩු අගයක පිතිකරන සාමාන්‍යයක් ඇති තිරිමාන්න අපේ ආරම්භක පිතිකරුවා ය.පිතිකරන සාමාන්‍යය 22ක පමණ අඩු අගයක් ඇති තිරිමාන්නට වඩා වැඩ්ඩන් මෑත කාලයේ ශ්‍රී ලංකා පළමුපෙළ පිටියේවත් නොමැතිදෝ බව පුදුමයකි.
මේ වනවිට දේශීය ක්‍රිකට් පිටිය රත් කරමින් සිටි සන්තුෂ් ගුණතිලක වැනි පිතිකරුවන් බංකු රත් කරන්නට දකුණු අප්‍රිකාවේ සංචාරයට ගනිද්දි එදා එංගලන්ත දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලි ද්විත්වයටම නම් කර සංචිතයෙන් සන්තුෂ්ගේ නම එංගලන්ත තරගාවලියට ඇතුළත් නොවන්නේ ඇයි දැයි දන්නේ ලාංකීය උතුම් තේරිම් කමිටුව පමණි.
එසේම කුසල් මෙන්ඩිස් නව තාක්ෂණයෙන් පිරිපුන් දිගු ඉනිම් දියත් කරන්නට හැකි පිතිකරුවෙක් බවට සනාථ කර කුසල් අන්තයටම අසාර්ථක වූ මොහොතක තව තවත් ඔහුට අවස්ථාව දි ඔහුගේ ක්‍රිකට් විනාශ කිරීමේ වගකීම තේරිම් කමිටුව සහ කළමනාකරණය සෘජුව භාරගත යුතු ය.
පිට පිට අවස්ථාවන් ත්‍රිත්වයකදී බිංදුවට දැවි ගිය ඔහුගේ මනසින් “ලකුණක් ගහන්නේ කොහොමද ?” යැයි පිච්චෙන ගිනිදැල් උණු පිට තිබියදී නැවතත් ඔවුන් කුසල් මෙන්ඩිස්ට අවස්ථාව දෙන්නේ කුසල්ව කබලෙන් ලිපට වට්ටවමිනි.
පිතිකරුවෙක් පිට පිට අවස්ථා තුනකදී ලකුණු බිංදුවට දැවි ගිය අවධියක ඒ පිතිකරුවා ඊලග ඉනිම ආරම්භ කරන්නේ කෙතරම් පීඩනයකින්ද කියා අමුතුවෙන් කියන්නට අවැසි නැත.
එසේම වසර ගණනක් ජාත්‍යන්තර අත්දැකීම් ඇති කුසල් පෙරේරා මෙන්ම තිරිමාන්නද දැවි යන්නේ මෙතරම් අත්දැකීම් ඇති පිතිකරුවෙක් කිසිසේත්ම නොකරන අනවශ්‍ය පහරවල්වලිනි.
ඔවුන් සේම කන්ඩායමේ දෙතුන් දෙනෙක් හැර අනෙක් සියල්ලන්ම කඩුල්ල පූජා කරන්නේ එංගලන්තයට නිස්කාරණයේ දණ නමමිනි.
ඒ අනුව රැජිණගේ දේශයේ යටත් විජිතයක් වූ අප අද ගාලු කොටුව තුළම නැවතත් රැජිණගේ මහතුන්ට යටත් වන්නේ ගාලු පිටියේ ඉනිමක කන්ඩායමක් ලබාගත් අඩුම ලකුණු ගණ්නේ අපහාසයද ලබමිනි.
නොසැලකිලිමත් ක්‍රීඩකයින් මෙන්ම තවමත් අනාගතය අනනා තේරිම් කමිටුවද ශ්‍රි ලංකා ක්‍රිකට් නම් සොදුරු මහ ගෙදර දවසින් දවස ඝාතනය කරමින් පවති.
අවසානයේ කීමට ඇත්තේ නෙක්ස්ට් සංගක්කාරලා මහේලලා නොව විරාට් කෝලි විලියම්සන් බාබර් අසාම් ස්ටීව් ස්මිත් තියා වත් නොව අඩුම රවිචන්ද්‍රන් අශ්වින්ලා වත් ටෙස්ට් පිතිකරුවෙක් ලෙස කඩුල්ලේ සිටීමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරන්නට ය…
එසේම අනාගතයක් නොව වර්තමානයට ගැලපෙන දේ කරනා උතුම් තේරිම් කමිටුවට මොළ පහල වේවා යැයි ප්‍රාර්ථනා කරන්නට ය.
මෙවන් අසිරිමත් ජාතික මෙසේ ගියහොත් තවත් අවුරුදු දෙක තුනකින් ශ්‍රි ලංකාවේ එදා සිටි ඇත්තන් අමාරුවෙන් ලබාගත් ටෙස්ට් වරම් පට්ටමටත් පහරක් එල්ල වී ගැලවෙන දවස වැඩි ඈතක නොයනු මාන ය.
©️ Rishie Bro










