කොවිඩ් – 19 ආසාදිතයන් වැඩි වීමත් සමග මදුරන්කුලිය කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ (14) සවස කටයුතු කර තිබේ.
මෙම කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවිකාවන් 300දෙනෙකු පමණ සේවයේ නියුතුවන අතර ඉන් 74 දෙනෙකුගේ ජෛව පටල සාම්පල පරීක්ෂාවක් සිදු කර ඇත. මේ වනවිට ලැබී ඇති එම වාර්තා අනුව සේවිකාවන් 26 දෙනෙකු ආසාදිතයන් වී ඇතැයි අනාවරණය වී තිබේ.
ආසාදිත සේවිකාවන් මුන්දලම, පුත්තලම, මහකුඹුක්කඩවල, ආණමඩුව, මුන්දලම හා කල්පිටිය ආදී ප්‍රදේශවල පදිංචිකාරියන්ය.
කෙසේ වෙතත් එම ජෛව පටල සාම්පල පරීක්ෂණවල තවත් වාර්තා පැමිණීමට නියමිත බවත් එම ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් පවුල් 200ක පුද්ගලයින් 500කට ආසන්න පිරිසක් බවත් සෞඛ්‍ය අංශ පවසයි.
මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන් ආණමඩුව, මුන්දලම, පුත්තලම, වනාතවිල්ලුව, උඩප්පුව හා කල්පිටිය පොලිස් වසම්වලින් සේවයට පැමිණෙන අතර මේ හේතුවෙන් මෙම පොලිස් වසම්වල ගම්මාන සිය ගණනක් දැඩි අවදානමට ලක් වී ඇත.











