පසුගියදා බද්දේගම නගරයේ පැවැත්වූ උපන්දින සාදයකට සහභාගීවූ තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස මේවනවිට තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
එම ප්‍රදේශයේ මින්පෙර ආසාදිතයෙකු බවට හඳුනාගත් කාන්තාවගේ ආශ්‍රිතයන්ට සිදුකරන ලද PCR පරීක්ෂණවලදී මෙම සාදයට සහභාගීවූ පුද්ගලයෙකු ආසාදිත බව හඳුනාගෙන ඇති අතර පසුව, එම සාදයට සහභාගීවූ තවත් කිහිපදෙනකුට සිදුකරන ලද PCR පරීක්ෂණවලදී තවත් දෙදෙනකු ආසාදිත බව හඳුනාගෙන ඇත.
බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නිවසේ මෙම උපන්දින සාදය පවත්වා ඇති අතර උපන්දිය තිබී ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකුගේ ය.
කෙසේ වෙතත් මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ආසාදිතයෙකු නොවන අතර බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා නිරෝධායනයට යොමුකර ඇත.
එම සාදයට සහභාගී වූවන් අතර මේ වනවිට ආසාදිත වූවෙකු ලෙස සාදයේ ඡායාරූප ශිල්පියා ද සිටින බව වාර්තා වේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය 06 වැනි දා පැවැති මෙම උපන්දින සාදය සඳහා බද්දේගම නගරයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක්ද සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවය. සාදයට සහභාගීවූවන් සොයා පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බවද ආසාදිතයන් රෝහල්වෙත යොමුකර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර තිබෙන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.
සෞඛ්‍ය උපදෙස වන්නේ ප්‍රිය සම්භාෂන, උපන්දින සාද ආදිය නොපවත්වන ලෙස වුවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයකු මෙලෙස කටයුතු කිරීම ගැටලු සහගත බව සෞඛ්‍ය අංශ නිලධාරීහු වැඩිදුරටත් කියති.










