කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව විසින් නිපදවා ඇති ස්පුට්නික් වී එන්නත් මාත්‍රා මිලියන 10ක ප්‍රමාණයක් වෙනිසියුලාව වෙත නොමිලේ ලබා දීම සඳහා රුසියාව සහ වෙනිසියුලාව අතර ගිවිසුමක් අත්සන් කර තිබේ.
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ මේ පිළිබඳව රුපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් “කොලම්බියා, පෘතුගීසි, ඉතාලියානුවන්, වෙනිසියුලානු ජාතිකයන් වේවා, එන්නත රටේ වෙසෙන සමස්ත ජනතාවටම නොමිලේ බෙදා හරිනු ඇත.”යනුවෙන් පවසා ඇත.
උප ජනාදිපති ඩෙල්සි රොඩ්‍රිගුස් වෙනිසියුලාව වෙනුවෙන් මෙම ගිවිසුම අත්සන් කිරීමට එක් වෙමින් පවසා ඇත්තේ “කිසිදු අවහිරයක් මඟින් එන්නත ලබා ගැනීමේ අපේ ජනතාවට ඇති පරිශුද්ධ අයිතියට හානි නොකරනු ඇත. එන්නත් කිරීමේ ව්‍යාපාරය “හැකි ඉක්මනින්” ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.
2021 වසරේ මාර්තු වන විට වෙනිසියුලාව වෙත මෙම එන්නත් ප්‍රමාණය ලබා දීම අවසන් කිරීමට රුසියාව සූදානම් වේ. ලතින් ඇමෙරිකානු කලාපයේ රුසියානු එන්නත අත්හදා බැලූ පළමු රට වෙනිසියුලාව වේ. වෙනිසියුලාව තුළ තුන්වන අදියරේ අත්හදා බැලීම් සාර්ථකව අවසන් කර ඇති බව පැවසෙන අතර අහිතකර ප්‍රතිඵල කිසිවක් මේ දක්වා වාර්තා වී නැති බව පැවසේ.
වෙනිසියුලානු ජනාධිපතිවරයා මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ “ස්පුට්නික් වී මාත්‍රාව මිලියන 10 ක් ලබා ගැනීම සඳහා අලුතින් අත්සන් කරන ලද ගනුදෙනුව මාස ගණනක බැරෑරුම් හා වගකිවයුතු වැඩවල ප්‍රතිඵලයක් බවයි.” “වෙනිසියුලාවේ මහා එන්නත ආරම්භ කිරීමේ මෙම වැදගත් පියවර ගැන මම ජනාධිපති පුටින්ට ස්තූතිවන්ත වෙමි,” යනුවෙන් මදුරෝ ට්වීට් පණිවුඩයක සටහන් කර ඇත.










