ග්‍රාම නිලධාරීහු වැඩ වර්ජනයක

ග්‍රාම නිලධාරීහු වැඩ වර්ජනයක

රජය විසින් ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු මෙතෙක් නොවිසඳීමට විරෝධය දක්වමින් දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරීහු පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනෙන් හා මේ වනවිට ක්‍රියාත්මක වන ජන හා නිවාස සංගණන වැඩසටහනින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය අවධාරණය කරයි.

මෙම තීරණය සඳහා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමය, සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරි සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය, රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය හා එක්සත් ගම්පති ග්‍රාම නිලධාරි සංගමයද ඒකාබද්ධව එක්ව සිටින බව ඊයේ (08) මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සුමිත් කොඩිකාර සඳහන් කරයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ,

“රජය විසින් ක්‍රියාත්මක කරන ගෘහ ආර්ථිකය සහ පෝෂණය වැඩි දියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ එක් ග්‍රාම නිලධාරියකු හට පවුල් ඒකක 50ක ගෙවතු සකස් කිරීමේ වගකීම් පවරා දී තිබෙනවා. මේ වනවිට ක්‍රියාත්මක වන ජන හා නිවාස සංගණනයේද ග්‍රාම නිලධාරීන් හට වගකීම් රැසක් පවරා දී තිබෙනවා. ග්‍රාම නිලධාරීන් මේ වනවිට කොවිඩ් – 19 මර්දන කටයුතු මෙන්ම ඒ ජනතාවට අවශ්‍ය සහනාධාර සැපයීමේ කටයුතුවලද රාජකාරි වේලාවට අමතරව කැපවීමෙන් කටයුතු කරනවා. එම රාජකාරිවල නිරත වන වෙනත් රාජ්‍ය සේවකයන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් හා ආරක්ෂාව ලබාදී තිබියදී ග්‍රාම නිලධාරීන් හට කිසිදු සෞඛ්‍ය පහසුකමක් මෙන්ම අමතර දීමනාවක්ද ලබා නොදීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා. ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා ලබා දෙන ලෙස කිහිප වරක්ම අදාළ වගකිව යුතු අංශ වෙත ඉල්ලීම් කළද එම ඉල්ලීම්වලට මේ දක්වාම කිසිදු ප්‍රතිචාරයක් ලබාදී නැහැ. එක් වරක් සාකච්ඡාවක් ලබා දුන්නත් ඒ සඳහා රාජ්‍ය අමාත්‍යවරයා හෝ සහභාගි වුණේ නැහැ. ඒ නිසා ඊට විරෝධයපා අද (08) සිට මෙම කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළා.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn