ආසාදිත පවුල්වල දරුවන් පාසලට… සමහර පාසල් යළි වැසේ…

ආසාදිත පවුල්වල දරුවන් පාසලට… සමහර පාසල් යළි වැසේ…

නව පාසල් වාරය ආරම්භවීමෙන් අනතුරුව කොවිඩ් -19 වසංගතයට ගොදුරුවූ පවුල්වල දරුවන් පාසල් වෙත පැමිණීම හේතුවෙන් පාසල් කිහිපයක් යලි වදා දැමීමට එම පාසල්වල පරිපාලනය අද (24) කටයුතු කර තිබේ.

ඒ අනුව එම සිදුවීම් වාර්තා වී ඇත්තේ අම්බලන්ගොඩ, බදුල්ල සහ තලවකැලේ යන ප්‍රදේශවලින්.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ අම්බලන්ගොඩ කුලරත්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුවෙකුගේ සහ සිසුවියකගේ මව්පියන් කොවිඩ් ආසාදිතයින් ලෙස අද (24) හඳුනාගෙන තිබේ.

ඒ අනුව, එම සිසුන් අධ්‍යාපනය ලැබූ පන්ති කාමරවල සෙසු සිසුන් සහ ගුරුවරුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර පාසැලේ සෙසු කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදුකරගෙන යෑමට පාසල් පරිපාලනය පියවර ගෙන ඇත.

ආරක්ෂක අංශ සාමාජිකයෙකු වන මෙම ආසාදිත පියා ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී තම දරුවන් පාසැල වෙත යොමුකර ඇති බව අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ විදුහල්පති ජගත් සේනාරත්න මහතා සඳහන් කරයි.

මේ අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පවුල් කිහිපයක ළමුන් පාසැල් පැමිණ ඇති බව කියන සිදුවීමක් මුල් කරගනිමින් තලවකැලේ දෙමළ මහා විද්‍යාලයේ මව්පියන් සිය ළමුන් පාසැලෙන් ඉවත් කරගැනීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් නිරෝධායනයට යොමුකර ඇති ළමුන්ට පාසැල වෙත පැමිණීමට අවස්ථාව ලබා නොදුන් බව එම විද්‍යාලයේ විදුහල්පතිවරයා සඳහන් කරයි.

බදුල්ල, කන්දෙගෙදර ජාතික පාසැලේ සිසුවෙකුගේ සීයා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව ද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn