මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයෙන් මතු වූ කොරෝනා දෙවෙනි රැල්ල පිළිබඳව පරීක්ෂා කර බලා සතියක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දන්වා මාසයකට ආසන්න කාලයක් ගතවුද මේ වනතෙක් වාර්තාව ලබාදී නැති බව අනාවරණය වෙයි.
ගෙවී ගිය කාලය තුළ නීතිපතිවරයා විසින් අවස්ථා තුනකදී ඒ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිහිකැඳවීම් කර ඇත. නමුත් නියෝජ්‍ය පොලිස්පතිවරයා විවිධ හේතු දක්වමින් එම වාර්තාව ලබාදීම පමාකොට තිබේ. නීතිපතිවරයා අදාළ දැනුම්දීම කළ ආසන්නයේ පොලිස්පතිවරයා පරීක්ෂණ පැවැත්වීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය.
නමුත් මේ දක්වා විමර්ශන කටයුතු අවසන් කර නැති පසුබිමක් තුළ රට පුරා වේගයෙන් මෙම වසංගතය පැතිරී යමින් පවතියි. මේ සම්බන්ධයෙන් පත්කරන ලද විමර්ශන කණ්ඩායමට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට එක් අවස්ථාවකදී දැනුම්දී තිබිණි. එම තත්වය තුළ වෙනත් පරීක්ෂණ කණ්ඩායමක් යොදවා අදාළ වාර්තාව ඉක්මනින්ම ලබා දෙන ලෙස නීතිපතිවරයා නැවත දැනුම්දී තිබුණද මේ දක්වා එය ක්‍රියාත්මක කෙරී නැත.










