කුරුණෑගල නගරාධිපතිට එරෙහි පෙත්සම සලකා බැලිම යළි කල්යයි

කුරුණෑගල නගරාධිපතිට එරෙහි පෙත්සම සලකා බැලිම යළි කල්යයි

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මාලිමාව පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන දෙසැම්බර් පළමුවැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (09) නියෝග කර තිබේ.

ඒ අදාළ පෙත්මස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

මෙම සිද්ධියට අදාළ වැදගත් තොරතුරු කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල සදහන්ව ඇති හෙයින් එම කරුණු ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමට අවසර දෙන්නැයි නීතීඥ සුනිල් වටගල මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව එම කරුණු සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය පෙත්සම ලබන දෙසැම්බර් පළමුවැනිදා කැඳවීමට නියම කර තිබේ.

එවකට මාලිමාව පක්‍ෂයේ මැතිවරණ අපේක්ෂක කණ්ඩායම් නායකයාව සිටි නාමල් කරුණාරත්න මහතා විසින් රිට් ආඥාවක් ඉල්ලා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැඩ බලන පොලිස්පති වරයා, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කොට ඇත.

වසර 1293 සහ 1302 අතර කාලසීමාව තුළ දෙවන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය පාලන සමයේදී ඉදි කළ බව කියන දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභාව ඉකුත් දා ඩෝසර් කර කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා වෙත චෝදනා එල්ල වී ඇති බවත් මෙම රාජසභා ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබූ බවත් එය කඩා ඉවත් කිරීම තුළින් පුරාවිද්‍යා පනත යටතේ වරදක් සිදුවී ඇති බවත් නාමල් කරුණාරත්න මහතා සිය පේතසම මගින් සඳහන් කොට ඇත.

Facebook
Twitter
LinkedIn