ගෙවී යන 2020 වසර වෙනුවෙන් කිසිදු අයවැයක් ඉදිරිපත් නොකළ වර්ෂයක් වශයෙන් ඉතිහාසයට එක්වන බව මේ වනවිට තහවුරු වී ඇති අතර ඉදිරි මාස 05ක කායලය වෙනුවෙන් රුපියල් කෝටි එක්ලක්ෂ හැටදාහක අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන්කරගැනීමේ සූදානමක් ඇති බව අනාවරණය වේ.
පසුගිය 2019 නොවැම්බර් 16 වෙනි දින ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් පැවති ආණ්ඩුව විසින් මෙම වසරට අදාලව අයවැය ලේකණයක් ඉදිරිපත් නොකළේ ය. ජනාධිපතිවරයෙන් බලයට පත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව අයවැය ලේකණයක් සම්මතකර ගැනීමට බහුතර බලයක් නොමැති බව සඳහන් කර මහා මැතිවරණයෙන් පසුව ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබිණි. එහෙත් 2020 මාර්තු 02වනදා වනවිට කොරෝනා තර්ජනය මෙරටට එල්ල වෙමින් තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැර නාම යෝජනා බාරගැනීම සිදු කෙරිණ.
පසුව මැතිවරණ කොමිෂන් සභාව විසින් කොරෝනා වසංගතය නිසා මැතිවරණය කල්දැමීම පදනම් කරගෙන මෙම වසර වෙනුවෙන් අයවැය ලේකණයක් ඉදිරිපත් කිරීමේ වගකීමෙන් ආණ්ඩුව මගහැර සිටියේ ය. මහ මැතිවරණයෙන් පසුව අගොස්තු සිට දෙසැම්බර් දක්වා මාස 5ක කාලය සඳහා රුපියල් කෝටි එක්ලක්ෂ හැටදාහක අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන්කරගැනීමට ආණ්ඩුව කටයුතු කරන බව මාධ්‍ය මගින් හෙළිකර තිබේ.










