පෞරාණික ගොඩනැගිල්ල ඩොසර් කර අදට මාසයයි… අපරාධකරුවන් තවමත් නිදැල්ලේ…

පෞරාණික ගොඩනැගිල්ල ඩොසර් කර අදට මාසයයි… අපරාධකරුවන් තවමත් නිදැල්ලේ…

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල කඩා දමා අදට (අගෝස්තු 14) මාසයක් ගතවන බවත් මෙතෙක් ඊට වගකිවයුතු වරදකරුවන් අත්අඩංගුවට ගෙන නැති බවත් මාලිමාව පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න මහතා අද පෙරවරුවේ කුරුණෑගලදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරනය කළේ ය.

මෙම ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එරෙහිව පැමිණිල් ගොනු වී ඇතත් ඒ සම්බන්ධයෙන් තවමත් පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගෙන නැතැයි ඒ මහතා පවසයි. කිසියම් අයෙකු විසින් සාමාන්‍ය පුද්ගලයෙකුගේ නිවසක් කඩා බිඳ දැමූවිට ක්‍රියාත්මකවන නීතිය හෝ මේ සඳහා ක්‍රියාත්මක නොවන්නේ පොලිසියට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට කිසිම් බලපෑමක් නිසාදැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.

මෙම ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වැඩබල පොලිස්පතිවරයාට සහ කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තමන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සැප්තැම්බර් 04 වෙනිදා විභාගයට ගැනීමට නියමිත බැවින් එදිනට තවත් කරුණු රැසක් අනාවරණය කිරීමට බලාපොරොත්තුවන බවත් මෙම මාධ්‍ය හමුවේදී නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේ ය.

මෙම මාධ්‍ය හමුව සඳහා පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෝමතිලක ජයමාන්න මහතාද එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn