ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස්දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාතවරයා විසින් වරේන්තු නිකුත් කර තිබූ අතර එම වරෙන්තුව අනුව අද (10) දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තිබිණි.
කෙසේ වෙතත් මේ වනවිට පොලිස් කණ්ඩායම් 04ක් යොදයා නගරාධිපතිවරයා ඇතුළු පිරිස සොයා මෙහෙයුම් දියත් කර ඇතත් මෙතෙක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.
මේ වනවිට නගරාධිපතිවරයා සිය නිවසේද නැති බවත් ඔහු අතුරුදහන වී ඇති බවත් වාර්තා වේ.
කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලීසිය අපොහොසත් වීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට උපදෙස් දෙමින් අද දෙවන වරටත් වරෙන්තු නිකුත් කර තිබේ.
එසේම කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුන්ට රටින් පිටවීම වැළැක්වාලමින් නියෝගයක්ද නිකුත් කර ඇත.
ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල ඩෝසර් යොදවා කඩා දැමීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට අගමැතිවරයා පත් කළ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වත් කමිටුවේ වාර්තාව මගින් කියා සිටියේ මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ දී පුරාවස්තුවලට හානි සිදුව ඇති බවය.
එසේම එය කඩා බිඳ දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම වාර්තාව මඟින් උපදෙස් දී තිබිණි.
ඒ අනුව නීතිපතිවරයා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා සහ පොලිස් ප්‍රධානීන් කැඳවා දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කරුණු සොයා බැලූ අතර ඒ අනුව ගොඩනැගිල්ල කඩා බිද දමා දින 23කට පසුව නීතිපතිවරයා පසුගිය 05 වනදා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.
විමර්ශනයේ සෙසු සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ කුරුණෑගල නාගරික කොමසාරිස්වරයා, නාගරික ඉංජිනේරුවරයා, වැඩ පාලක සහ අදාළ බැකෝ යන්ත්‍රයේ රියදුරුවරයාය.
මෙම සිද්ධියට අදාළ වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාලිමාව පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කර තිබේ.










