ඡන්ද විමසීම අවසන්

ඡන්ද විමසීම අවසන්

නවවන පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 5.00ට අවසන් වුණි. ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී අද (05) උදෑසන 07.00ට ආරම්භ කෙරුණු ඡන්ද විමසීම පස්වරු 05.00ට අවසන් කෙරුණු බව මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේය.

කෙසේවෙතත් අද දිනයේ ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවති බව ද කොමිශන් සභාව සඳහන් කළේය.

අද පස්වරු 04.00 වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 60 ඉක්මවා තිබුණි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70ක් වන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පැවසීය. ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පස්වරු 04.00 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 69ක් වූ අතර මාතලේ සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිශතය සියයට 68ක් වූ බව සඳහන්ය. කෑගල්ල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 67ක් වේ.

මහනුවර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිශතය සියයට 65ක් වන අතර ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 62ක ප්‍රතිශතයක් අද පස්වරු 04.00 වන විට ඡන්දය භාවිත කර තිබූ බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් සඳහන් කළේය.

පුත්තලම, කොළඹ, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 60ක් වේ. යාපනය දිස්ත්‍රික්කයේ සියයට 57ක ප්‍රතිශතයක් පස්වරු 04.00 වන විට ඡන්දය භාවිත කර තිබූ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය දැක්වූයේ සියයට 55ක් ලෙසය.

Facebook
Twitter
LinkedIn